Apr 22, 2017

අගමැතිගේ සංචාරය : ජපානයත් ලංකා මුහුදට බසියි Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා ජපානයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව මෙරට සාගර කලාපය වෙත ජපානය ද මැදිහත් වන තත්ත්වයක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ මෙරට අග්‍රාමාත්‍යවරයා සමඟ ජපානය ඇති කරගත් එකඟතා අතුරින් බහුතරයක් මෙරට සාගරය ආශ්‍රිතව සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් වීම නිසාය.

ඒ අතර ජපානය විසින් මෙරටට නෞකා දෙකක් ලබා දීම, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව නාවුක ගමනා ගමන සේවයක් ආරම්භ කිරීම, මෙරට මුහුද ආශ්‍රිත ඛනිජ සම්පත් සොයා බැලීම වෙනුවෙන් ඒකාබද්ධ මුහුදු සමීක්ෂණ සිදු කිරීම, සමුද්‍රාසන්න ඉදිකිරීම් කලාප දෙකක් වෙනුවෙන් ආයෝජනය කිරීම ආදී ක්‍රියාකාරකම් වෙයි.

වාණිජ වටිනාකම නිසා :

මේ අයුරින් ලෝකයේ බලවත් රටවල් මෙරට මුහුදු කලාපය වෙත උනන්දු වන්නේ ලංකාව වටා 65.5 පමණ සම ගැඹුරු රේඛාවෙන් මායිම් වන මුහුදු තීරය ලංකාවේ මහද්වීපික තටකයේ ඇති විශාලත්වය සහ සමුද්‍රික පිහිටීම තුළ එහි ඇති වාණිජ වටිනාකම හේතුවෙනි.

ජපානයේ මෙම පැමිණීමත් සමඟ කලාපීය මෙන්ම ලොව ප්‍රබල බලවතුන් වන ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව මෙරට මුහුද ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම් සහ මැදිහත්වීම්වල වර්ධනයක් සිදු වන බවත් ඒ තුළ ඒ එක් එක් රටවල ඇති බල දේශපාලන සහ ආර්ථික තරගයට මෙරට මුහුදු කලාපය මුළුමනින්ම විවෘත වන තත්ත්වයක් මතුව ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

(සංජය ලියනගේ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top