Sathosa

Apr 23, 2017

''හිටපු හමුදා ප්‍රධානියෙක් ගැන මට සැකයි' - උපාලි තෙන්නකෝන් Featured

තමාට පහරදීමේ සිද්ධියට හමුදාවේ එදා සිටි ප්‍රධානියකු සම්බන්ධයක් පළවූ පුවතක් හේතු වූවාදැයි සැකයක් ඇතැයි ප්‍රවීන පුවත්පත් කලාවේදී උපාලි තෙන්නකෝන් මහතා පවසයි.

එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කරන 'හෙළබිම' පුවත්පත සමග පැවති සාකච්ජාවකදී එබව පවසා ඇති තෙන්නකෝන් මහතා, අනෙක් කිසිම දෙයක් ගැනත් තමාට පහරදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ගැනත් කිසිම විශ්වාසයක් නැතැයි ද කියා සිටියි.

''වත්මන් රජය කළේ අපිව තවත් අමාරුවේ දාන වැඩක්. මට පැහැදිලිව කිසිම පරීක්ෂණයක් සාධාරණව වෙයි කියලා හිතෙන්නෙ නැහැ. රජයේ ඉහළ නිලධාරීන් ගැන විශ්වාසයක් නැහැ. දේශපාලනඥයන්ගේ බලපෑමක් නැතුව පොලිස් සහ රහස් පොලිස් නිලධාරීන්ට කෙතරම් දුරට මේවාට සාධාරණව පරීක්ෂණ සිදුකරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.'' යයි ඔහු පවසයි.

රටේ ජනතාවට හොඳ නායකයකු සොයාගැනීමේ කාලය පැමිණ තියෙන බවත්, එහෙම නොවුණොත් මේ රටට ගොඩ එන්න නොහැකි බවත් ඔහු කියා සිටියි.

මේවනවිට 'හෙළබිම' පුවත්පතේ අනුශාසකවරයකු ලෙස කටයුතු කරන උපාලි තෙන්නකෝන් මහතා සමග කල සංවාදය පහත පළවේ.

''අපට මොකද වුනේ ?''

වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ මෙරට ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දු අතර වූ තවත් එක් ප්‍රබල පොරොන්දුවක් බවට පත්න්නේ මෙරට විවිධ සිදුවීම් අලලා ඝාතනය වූ, පහර කෑම්වලට ලක්වූ, හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු කිරීමය.

පසුකාලීනව රජය කියූ පරිදි මේවායෙහි විමර්ශන ආරම්භ විය. එය සුබ ලකුණක් ලෙස දකින්නට තරම් අප අඳභාවයෙන් නොපෙලෙන්නෙමු. නමුත් අද වන විට මේවා ද දේශපාලන වාසි තකා මුල් කරගෙන ඇති බව පසක් වන්නේය.

ඒ සියල්ල මෙරට ප්‍රධාන පෙළේ ඝාතන අතර වූ ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, ප්‍රගීත් යන සිදුවීම් වල පරීක‍ෂණ සමග සසඳා බැලීමේ දී කිසියම් සංසිදිස්ථානයකට පැමිණිය ද නැවත නැවත ඒවා සමාජ කතිකාවන්ට පත්ව තිබේ. ඒ මෙම සිදුවීම්වල සමහර සාක‍ෂිකරුවන් නිදහස්වීම, පවතින නඩු කල් දැමීම, පටන් ගත් නඩු ඉදිරියට නොයෑම ආදී කරුණු මුල්කර ගෙනය.

එවන් පරිසරයක් මැද ප්‍රවීන පුවත්පත් කලාවේදී උපාලි තෙන්නකෝන් මහතා සමඟ ඔහුගේ සිදුවීම් ගැන මෙලෙස විමසීමු.

ඔබගේ අද දවස ගෙවෙන්නේ කොහොමද?

මේ රටේ ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. ගෙවල් කුලී, වාහන සහ අනෙකුත් බිල් ගෙවීමට අවශ්‍ය මුදල් හොයනවා.

upaliජනවාරි 23 වැනිදා උදේ 6.40 ට පමණ ඔබගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වන ඒ අඳුරු සිදුවීම මතක සටහන් මොනවාද?

එදා මමයි, බිරිඳයි රැකියාවට යන්න පිටත් වුණේ. හතර දෙනෙක් පහර දුන්නා අපේ වාහනයට. මගේ බිරිඳ මාගේ ඇඟ උඩට ඇවිල්ලා මාව ආවරණය කළා. ඇය නිසයි මම බේරුණේ. මම සියලූ බලධාරීන්ට කතා කළා. දින පහක් රෝහලේ සිට පසුව බිරිඳගේ ගෙදරට ගියා.

මෙම සිදුවීමට කුමන කෙනෙක්ගේ සම්බන්ධයක් ඇතැයි ඔබට හැඟෙන්නේ ද?

මට සැකයක් තියෙනවා එදා හමුදාවේ සිටි ප්‍රධානියකුගේ සම්බන්ධයක් පළවූ පුවතක් මෙයට හේතු වූවාදැයි සැකයක් මට තියෙනවා.

ඔබට එලෙස පහරදීමට හේතු මොනවාද කියා ඔබට හඳුනාගෙන තිඛෙනවා ද?

කරුණු දෙකක් නිසා මෙය සිදු වුණායි කියා මම සිතනවා. එකක් ලසන්ත වික්‍රමතුංගට ගහපු වෙලාවෙ එය දැඩි ලෙස විවේචනය කළා. අනෙක් කරුණ යම් පුවතක් සම්බන්ධයෙන් වූ වාර්තාවක් පළ නොකිරීම.

ඒ පුවත කොටි ත්‍රස්තවාදීන් ආයුධ එක් වෙරළකට බා ගොඩවීමට ගෙන එන බව කියා කතාවක්. එය දෙපැත්තෙන්ම කරුණු විමසන්නට අදාළ පුවත ලියූ මාධ්‍යවේදියාට කිව්වාම, ඔහු එලෙස විමසා තිබුණේ නැහැ. එනිසා මම ඒක පිටුවෙන් ගැලෙව්වා.

මෙතැනදි සමහරු හිතන්නට ඇති මම කුමන හෝ පාර්ශ්වයකට අයත් අයකු යන වග.

ඔබ මෙවර ලංකාවට පැමිණි විට රටේ නායකයන් සමග මේ ගැන කතා කළේ නැද්ද?

මම අගමැති, ජනාධිපති දෙදෙනාම හමුවුණා. රහස් පොලිසිය සහ පොලිසියේ නිලධාරීන් ඔවුන්ගේ උපරිමය ඉටු කරනවා. අනෙක් කිසිම දෙයක් ගැනත් මේ පරීක‍ෂණ ගැනත් මට අද කිසිම විශ්වාසයක් නැහැ.

ඇමරිකාව සැපවත් රටක් ලෙසයි සියල්ලෝම දකින්නේ.

ඇමරිකාවේ ඉන්න කොට හිතෙනවා ඇති අපි සැප විඳිනවා කියලා. අපි ජීවත් වෙන හැටි දන්නේ අපි. අපි කොයි වෙලාවෙද එන්නෙ කියලා හිතාගෙන ඉන්නෙ.

ලංකාවෙ සිදුවන පරීක‍ෂණවලට ඔබේ ලබාදෙන සහාය කෙබඳු ද?

z p01 suspect 600x433 1පරීක්ෂණවලට මගේ උපරිම සහාය ලබාදෙනවා කියලා මම කිව්වා. ඒකයි මම හඳුනාගැනීමේ පෙරෙට්ටුවටත් ආවේ. ගහපු අයගෙන් එක් අයෙක් හඳුනාගත්තා. රජය කළේ අපිව තවත් අමාරුවේ දාන වැඩක්.upali t colombotelegarph

ඒ කියන්නේ යහපාලන රජය ගැන විශ්වාසයක් නැහැ කියන එකද?

මට පැහැදිලිව කිසිම පරීක‍ෂණයක් සාධාරණව වෙයි කියලා හිතෙන්නෙ නැහැ. රජයේ ඉහළ නිලධාරීන් ගැන විශ්වාසයක් නැහැ. දේශපාලනඥයන්ගේ බලපෑමක් නැතුව පොලිස් සහ රහස් පොලිස් නිලධාරීන්ට කෙතරම් දුරට මේවාට සාධාරණව පරීක්ෂණ සිදුකරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පැමිණ ඔබ කෙනෙක් හඳුනා ගත්තා. මේකෙන් තවත් තරහාකාරයො වැඩි වුණා කියලා හිතෙන්නෙ නැද්ද?

ඔව්. වැඩි දෙනෙක් ඉන්නේ එළියේ. මේ මිනිස්සු මිනී මරණ රණවිරුවො. හරියට පරීක්ෂණ නොකෙරෙන නිසයි බය. අපිට ගැහුවේ ඒ අයට තියෙන වුවමනාවකට නෙමෙයි. ඒ අයට අණ දීපු අය ඉන්නවා. ඒ අණ දීපු අයට කුමන බලතලයක් දැන් තියෙනව ද කියන්න අපි දන්නේ නැහැ.

මේකෙන් කොටස් දෙකක් ඒ අනුව තරහ වෙලා ඉන්නවා. මට වගේම මං වගේ ඉන්න සියලූම අයට මේවා තර්ජනයක්.

මෙවන් සිදුවීම් වූ මාධ්‍යවේදීන්ට වත්මන් රජය වන්දි ලබාදෙන බව පැවසුවා. ඔබ ඊට අයදුම් කළා ද?

ඔව්. ලිඛිතව දන්වා තිඛෙනවා. මොනා වෙනවද කියන්න මම දන්නෙ නැහැ. ඒ ගැන කිසි සද්දයක් නැහැ. මම මෙහෙ ඉඳලත් ඔය කමිටුවෙ අය සම්බන්ධ කර ගන්නත් උත්සාහ කළා. එහෙම කාට හෝ උදව් කරන මට්ටමේ ඉන්න කමිටුවක් නම් එලෙස නිලධාරීන් ක්‍රියා කළ යුතු නෑ. ඒ නිලධාරීන් වැඩ කරන ආකාරය ගැනත් මගෙ කිසිදු පැහැදීමක් නැහැ.

වන්දි ගෙවනවා නම් මෙහෙම කාලයක් ගත විය යුතු නැහැ. ගෙවන්න අවශ්‍ය නම් ගෙවන්න පුළුවන්. ඒ වගේම වන්දි සුදුසු අයුරින් ගෙවෙයි ද කියලත් මට ගැටලූවක්.

මෙතන දී ගෙවී ගිය කාලයේ දී තමන්ට අහිමි වන දේවල් මිල කළ හැකි ද කියලා ගැටලූවක් තියෙනවා නේද?

ඒවා මිල කරන්න බැහැ. මගේ තිබුණු අනාගත සැලසුම් සියල්ල නැති වුණා. ජීවිත උඩු යටිකුරු වුණා වගේම කීත්, පෝද්දල වගේ අයට ඊට වඩා ප්‍රශ්න ඇති. මේ රජය බලයට පත්වෙනකොට සියලූම දෙනා සාධාරණයක් ගැන බලාපොරොත්තු තිබ්බා. ඒක දැන් හැමෝම දන්නවා. මේවාට සාධාරණයක් නොවන බව. බලයට ආවාම සේරම වෙනස් වෙලා. මේ දේශපාලන ක්‍රමයම මහා හීනයක්.

මාධ්‍යවේදියකු වීම ඔබේ කුඩා කල සිට තිබූ බලාපොරොත්තුවක් ද?

පොඩි කාලේ ඉඳන්ම ලිව්වා. මාධ්‍යයට ආවේ ඉබේම වගේ. ලියන්න ආසාවක් කොහොමත් තිබුණා. මුලින්ම ලේක්හවුස් එකට බැඳිලා එතනින් ඉදිරියට ගියා.

අද මාධ්‍යවේදියෙක් නොවුණා නම් කියලා හිතෙන්නෙ නැද්ද?

මගෙ අම්මා කියපු කතාවක් තියෙනවා, මට ගහපු සිදුවීමෙන් පසුව ඇය කිව්වා මේ රස්සාව නිසා නේද මේක වෙන්නෙ කියලා. මගෙ තාත්තාගෙ අන්තිම කාලෙ මට සලකගන්න බැරි වුණා. මට නම් තාම මාධ්‍යවේදියකු නොවුණා නම් කියලා හිතෙන්නෙ නැහැ. නමුත් පවුලේ අයට එහෙම හිතෙනවා.

සිදුවූ සිදුවීම් සමග ජීවිතය ගැන කලකිරීමක් තියෙනවාද?

මම එහෙම කලකිරෙන කෙනෙක් නෙමෙයි. නැති වූ දේවල් ගැන මම කණගාටු වෙන්නෙ නැහැ. ඊළඟ මොහොතට මම හැඩගැහෙනවා. පෙරලූන පැත්ත හොඳයි කියලා තමයි මම කවදත් වැඩ කරන්නෙ. තිඛෙන වපසරිය තුළ මම මට කළ හැකි උපරිමයෙන් කරනවා.

ඔය කියන වැඩ කරන කාලයේදී ඔබට, ඔබේ ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩ කරන්න පුළුවන් වුණා ද?

මම වැඩ කළ තැන්වල එවන් බලපෑම්වලට ලක්වුණාම මම ඉවත් වුණා. මම මගේ හිතට එකඟ නැති දේවල් පළ කරලා නැහැ. 'දිවයිනේ' මම පැය 24ක් ඇතුළත එළියට බැහැලා ආවෙ එවන් හේතුවක් නිසා. මම රැකියාවක් නැතුව ආවහම මට කතා කළ එකම දේශපාලනඥයා තමයි එස්. බී. . මිලින්ද මොරගොඩ මහතා උදව් කළා. සිරි රණසිංහ 'ලංකාදීප' කර්තෘ අමතක කරන්න බැහැ. සියල්ල එක්ක මගේ පත්තර ජීවිතය මම පොතක් ලියන්න හිතාගෙන ඉන්නෙ.

වර්තමානයේ දී ලංකාවේ පුවත්පත් භාවිතාව ගැන මොකද හිතෙන්නෙ?

අද පුවත්පත් වල විවිධත්වයක් නැහැ. මේ රටේ පත්තරයක් ලබා දෙන්නෙ දරුවෙක් ඉන්නව නම් ගෙදර පත්තරයක් ගන්න කියලා. අපේ පත්තරයක් කාටවත් බලන්න බැහැ. රටේ ජනාධිපතිට වුණත් මේ වගේ රටවල මාධ්‍යවල හැප්පෙන්න අමාරුයි. තොරතුරු දැන ගැනීමේ සම්මත වුණා කියලා ලංකාවේ මාධ්‍යවලට ස්වාධීන වීමේ හැකියාවක් නැහැ.

ඔබ ඇමරිකාවේ සිට මෙරටට දෙන පණිවිඩය මොකක්ද?upali in arizona

ලංකාවට මේ යන විදියට ඉදිරියට යන්න බැහැ. අද ලෝකෙ පෝසත්ම රටවල් ගත්තහම එහි සිංගප්පූරුවත් ඉන්නවා. ගම්පහ දිස්ත්‍රීක්කය තරම් වූ සිංගප්පූරුවට ඒ වගේ තැනකට පැමිණිය හැකි නම් ලංකාව දියුණු නොවීම විශ්වාස කරන්න බැහැ. මෙතෙක් නොවූ දේවල් ඉදිරියට වෙන්නෙ නැහැ. රටේ ජනතාවට හොඳ නායකයකු සොයාගැනීමේ කාලය පැමිණ තියෙනවා. එහෙම නොවුණොත් මේ රටට ගොඩ එන්න බැහැ.

මාධ්‍යවේදීන්ට මොනාද කියන්න තියෙන්නෙ?

අද පවතින මාධ්‍යවේදීන් නැහැ. 'රිවිර' මට භාර දෙනකොට ආචාර්ය සේන මට කිව්වෙ කැඩිල තියෙන දේශපාලනය එකතු කරන්න කියල. අද එහෙම හිතන අය ඉන්නවාද කියලා ප්‍රශ්නයක්. ඒ නිසා එදා වගේ පවතින මාධ්‍යවේදීන් අඩුයි.


(සංවාදය- අශන්ති වරුණසුරිය)

'හෙළබිම' - එක්සත් රාජධානියේ ජාතික සිංහල පුවත්පත)

IMG 2666

IMG 2667

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top