Apr 23, 2017

ලංකාවට GSP+ නොදිය යුතු බවට යෝජනාවක් ! Featured

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය ලබා දීම වෙනුවෙන් යුරෝපා කොමිසම ඉදිරිපත් කළ මූලික කොන්දේසි කිහිපයක් ඉටු කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සහනය නොලැබී යාමේ අවදානමක් මතුව ඇත.

ඒ අදාළ කොන්දේසි ඉටු කිරීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් මෙරටට ලබා දී තිබූ කාල සීමාව එළඹෙන මැයි 15 වනදායින් අවසන් වන නිසාය.

මේ අතර, GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා ලැබූවන්ට දඬුවම් ලබාදීමට ශ්‍රී ලංකාව තවමත් කටයුතු කර නැතැයි එමගින් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉකුත්දා ඉදිරිපත් වූ වාර්තාව ද මෙහිදී උපුටා දක්වා ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

මෙම යෝජනාව ලබන 26 සහ 27 යන දිනවල දී යුරෝපා පාර්ලිමේන්තුව විසින් සාකච්ඡාවට ගැනීමට නියමිත අතර, අනතුරුව ඒ පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

අර්බුදයෙන් ගොඩ ඒමට :

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ රට තුළ උග්‍ර වෙමින් තිබෙන ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා GSP+ සහනය කදිම අවස්ථාවක් බවත් ඒ අහිමි කර ගැනීම තුළ අපනයනයේ යෙදෙන සමාගම් ඉදිරියේ දී තවදුරටත් දුෂ්කරතාවට මුහුණ දීමට සිදු වනු ඇති බවත්ය.

විශේෂයෙන්ම බටහිර රටවල් මේ වන විට ජාතිකවාදී ආර්ථික ක්‍රමයක් වෙත විතැන් වෙමින් ඇති බවත් ඒ පසුබිමේ අපනයන වෙළෙඳපොළ තුළ මෙරටට පවතින පංගුව රැක ගැනීමට ද බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදු වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම වෙනත් රටවලින් එල්ල වී ඇති දැඩි තරගය හමුවේ යුරෝපා වෙළෙඳපොළට තේ ඇතුළු වැවිලි ආර්ථිකය ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම මෙන්ම ඇඟලුම් අපනයනය මේ හේතුවෙන් මූලිකව තර්ජනයට ලක් විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.

එසේම GSP+ සහන ක්‍රමය යටතේ යුරෝපා සංගමය වෙත භාණ්ඩ අපනයනයේ දී සියලුම භාණ්ඩවලට බලපාන බදු මුළුමනින්ම ඉවත් කිරීමක් සිදු වන බැවින් රට හමුවේ ඇති දැඩි ආර්ථික අවදානම තේරුම් ගෙන අදාළ සහනය ලබා ගැනීමට හැකි උපරිමයෙන් මැදිහත් විය යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

GSP+ සහනය යටතේ ශ්‍රී ලංකාව 2008 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමක අපනයන ආදායමක් අත්පත් කරගන්නට සමත් වූ අතර එම ප්‍රමාණය යුරෝපය වෙත කෙරෙන සමස්ත ශ්‍රී ලංකා අපනයනවලින් ලද ආදායමෙන් 58% ක අගයක් විය.

සබැඳි පුවත් :


දෙනවා කීව GSP+ නොදෙන ලකුණු ?

මානව හිම්කම් ඉටු නොවේ : GSP+ අනතුරේ!

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top