Sathosa

Apr 23, 2017

'අපේ රට කාගේවත් නිජ භූමියක් නොවෙයි' - රාජිත Featured

ශ්‍රී ලංකාව කාගේවත් නිජ භූමියක් නොවන බවත්, කාටවත් එහි තනි අයිතියක් නොමැති බවත් අවධාරණය කර සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, විවිධ ජාතීන්ට විරුද්ධව යහපාලන රජයේ ඇතැම් පිරිස් කටයුතු කළහොත් ඊට විරෝධය පළ කරන බව අද (23) පැවසිය.

ඔහු එබව කියා සිටියේ, පුත්තලම මදුරන්කුලිය විරුතොඩෙයි අසීෂියා අරාබි විද්‍යාලයේ මවුලවි සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සහ අන්තර් අගම්ක ගෝලීය සංවාදයේ ආරාධිතයකු ලෙස සහභාගි වෙමිනි.

"රට ඉදිරියට ගෙනයාම සදහා සියළු ජාතීන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිංහල, ද්‍රවිඩ මුස්ලිම් ජාතිකයින් ජිවත් වෙනවා. ඔවුන් වෙනත් රට වලින් පැමිණි අයයි. එම නිසා අපේ රට කාගේවත් නිජ භූමියක් නොවෙයි. කාටවත් තනි අයිතියක් නැහැ. කෝට්ටේ රාජධානිය ආරක්ෂා කර ගැනීමට සිංහලයන් මෙන්ම මුස්ලිම්වරුන් ද දායක වුනා...'' යයි ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

පසුගිය රජය සමයේ දී මුස්ලිම් ජාතිකයින්ට අසාධාරණකම් සිදු වුනා. මම එම අසාධාරණකම් වලට එරෙහිව විරෝධය පළ කළා. රජයේ ආධාර මත අන්තවාදී කණ්ඩායම් කටයුතු කළා. මට කළකිරීමක් තමයි ඇති වී තිබුනේ.
ජාතිවාදය, ආගම්වාදය මුලික වුනා. මට හිරිකිතයක් මෙන්ම ලැඡ්ජාවක් ද ඇති වුනා.

පැවැති රජය වෙනස් කරන්න හිතුනේ එම නිසයි. රජය වෙනස්වෙයි කියලා කවුරුත්වත් හිතුවේ නැහැ. ජනවාරි 08 විප්ලවය සදහා මුස්ලිම් ජාතිකයින් විශාල දායකත්වයක් දැක්වූවා.

විල්පත්තු ප්‍රශ්ණය :

යහපාලන රජය තුලත් විවිධ ජාතීන්ට විරුද්ධව ඇතැම් අය කටයුතු කරනවා නම් මම ඊට විරෝධය පළ කරනවා. විල්පත්තු ප්‍රශ්ණයේ දී මම මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් අදහස් පළ කලා.

එල්.ටි.ටි.ඊ සංවිධානය පැය 24 ක් තුල උතුරේ මුස්ලිම් ජාතිකයින් පළවා හැරියා. සිංහල ජාතිකයින් පළවා හැරියා.

ඔවුන්ට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. විල්පත්තුව මුස්ලිම්වරුන්ටත් අයිතියි. දශක ගණනාවක් කදවුරුවල ජීවත් වූ ඔවුන් මුල් වාසස්ථාන වලට ගොස් සිටිය දී තමයි විරෝධතාවයක් මතු වුනේ. මම ඉඩම් නීතිය ගැන හොදට දන්නවා. එම නිසයි විල්පත්තුව පිළිබදව අදහස් පළ කළේ.

රක්ෂිත හදන්නත් පුළුවන්. රක්ෂිත අවම කරන්නත් පුළුවන්. අතීතයේ සිට විල්පත්තුවේ මුස්ලිම් ජාතිකයින් සිටි බව ඔප්පු වී තිඛෙනවා. රාජ්‍ය ආයතන, ආගමික සිද්ධස්ථාන එම භූමියේ තිබුනා. එම නිසයි මුස්ලිම් ජනතාවගේ පදිංචිවීමේ අයිතිය ඔවුන්ට ලබාදිය යුත්තේ. නීතියට අනුව කටයුතු කළ යුතුයි....

සිංහල ජාතිය ආරක්ෂා කිරීමේ සටන :

අපේ රටේ සිංහල ජාතිය ආරක්ෂා කිරීමේ සටන ආරම්භ වුයේ 1958 දී. තාමත් එය ඉටු කර ගන්න බැරි වුනා. එම නිසා රට අරාජික වුනා. අපේ අසමගියත් ඊට බලපෑවා.

ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව ජනවාරි 08 වන දා ජනතාව නැගී සිටියා.

ජාතිවාදය, ආගම්වාදය උඩ මැතිවරණ දිනන්න බැහැ. මම ජාතිවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන විට මගේ චරිතයත් ඝාතනය කළා. ජාතීන්ගේ පක්ෂ ජාතික පක්ෂ විය යුතුයි.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර මහතා, ඒ.එචි.එම් ෆවුසි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එචි.එම් නවාවි මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එචි.එම් අෂ්වර් මහතා, විද්‍යාලයේ නිර්මාතෘ අබිදුල් අෂීෂ් මවුලානා මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා යන මහත්වරුන් එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top