Apr 24, 2017

ලංකාවේ යකඩ වෙළෙඳුන් මහ පරිමාන බදු වංචාවක Featured

මෙරට යකඩ නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිතව සිදු වන මහා පරිමාණ බදු වංචාවක් හේතුවෙන් වසරකට රුපියල් මිලියන 5000 (බිලියන 5) කට ආසන්න බදු ආදායමක් රජයට අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙරට යකඩ නිෂ්පාදනයේ නිරත සමාගම් වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද නිසි පරිදි නොගෙවීම හරහා මෙම බදු වංචාවේ නිරත වන අතර මේ සම්බන්ධව වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර ඇතත් අදාළ සමාගම් වෙතින් ලැබෙන විවිධ වරදාන හේතුවෙන් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මෙසේ සිදු වන මහා පරිමාණ බදු වංචාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි (කොන්ක්‍රීට් කම්බි) අලෙවිය ආශ්‍රිතව වන අතර ඒ සම්බන්ධ අප වෙත අනාවරණය වී ඇති වැඩිදුර තොරතුරු මෙසේය.

අලෙවි දත්ත විකෘති කිරීම :

අවම වශයෙන් මෙරට කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි නිෂ්පාදනය සහ අලෙවිය මසකට මෙට්‍රික් ටොන් 45,000 ක් පමණ වෙයි.

එහි දී අලෙවි කරනු ලබන සෑම යකඩ කම්බි ටොන් එකක් වෙනුවෙන්ම ජාතිය ගොඩනැඟීමේ බද්ද ලෙස 2%ක් සහ වැට් බද්ද ලෙස 15%ක් ගෙවිය යුතු වුවත් අදාළ සමාගම් බදු ගෙවීමට අදාළ ලිපිගොනු වෙත නියම අලෙවි දත්ත ඇතුළත් කරන්නේ නැත.

එනම් සිය සමස්ත අලෙවියෙන් ඔවුන් බදු ලිපිගොනු වෙත ඉදිරිපත් කරන්නේ 30%ක ප්‍රමාණයක් පමණි.

එහෙත් වෙළෙඳපොළේ කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි මෙට්‍රික් ටොන් 1ක මිලෙහි මාධ්‍යයන මිල ගණන් අනුව මාසික අලෙවිය හරහා රජය වෙත රුපියල් මිලියන 550ක් හෝ ඊට අධික මුදලක් බදු වශයෙන් අදාළ සමාගම් ගෙවිය යුතුය.

එහෙත් එම සමාගම් විසින් ව්‍යාජ අලෙවි දත්ත ඉදිරිපත් කිරීම හරහා රජයට ගෙවන්නේ මසකට රුපියල් මිලියන 250 කට ආසන්න බදු මුදලක් පමණි.

ඒ අනුව මසකට කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි ආශ්‍රිතව පමණක් මාසිකව රුපියල් මිලියන 300 කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වන අතර වාර්ෂිකව රුපියල් මිලියන 3600 කට ආසන්න බදු මුදලක් රජයට අහිමිව යයි.

වංචාව පළමු පියවරේම සිටම :

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මීට අමතරව යකඩ ආශ්‍රිත නිෂ්පාදන අතර වන යකඩ පට්ටම්, L ඈන්ගල් සහ අනෙකුත් නිෂ්පාදන අලෙවිය සම්බන්ධ දත්ත ද අදාළ සමාගම් විසින් මේ ආකාරයෙන්ම විකෘති කරනු ලබන අතර ඒ හරහා ද මසකට රුපියල් මිලියන 120 කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වෙයි.

මේ ආකාරයෙන් අලෙවි දත්ත විකෘති කිරීම හරහා සිදු කරනු ලබන වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බදු වංචාවට අමතරව එහි දී ආදායම් බද්ද ද අය කරන්නට සිදු වන්නේ ව්‍යාජ අලෙවි දත්තවලට අනුවය. ඒ අනුව ද රජයට සැලකිය යුතු බදු බුදලක් අහිමි වන අතර වාර්ෂිකව එසේ අහිමි වන බදු මුදල රුපියල් මිලියන 5000 කට අධික වෙයි.

එසේම අප කළ සොයා බැලීමේ දී අනාවරණය වූ ආකාරයට අදාළ සමාගම් මෙම බදු වංචාව සැලසුම් සහගතව සිදු කරගෙන යන්නේ යකඩ ආශ්‍රිත නිෂ්පාදනයේ පළමු පියවරේම සිටය.

තත්වයෙන් බාල යකඩ :

නිදර්ශනයක් වශයෙන් කොන්ක්‍රීට් වැර ගැන්වීමට යොදනා යකඩ කම්බි නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නේ ආනයනය කළ යකඩය.

නමුත් බදු වංචාවේ නිරත සමාගම් සිය සමස්ත නිෂ්පාදනයම ආනයනික යකඩ යොදාගෙන සිදු කරනු ලබන්නේ නැත.

ඒ වෙනුවට ඔවුන් මෙරට වෙළෙඳපොළේ ඇති භාවිත කළ යකඩ ද යොදා ගනී. ඒ තුළ ආනයනික යකඩ ප්‍රමාණය මත අය විය යුතු බදු මුදල තක්සේරු කළ ද රජයට නියමිත බදු මුදල් අයකර ගැනීමට අවස්ථාව උදා නොවේ.

මේ ආකාරයෙන් ඉවතලන යකඩ, යළිත් යකඩ ආශ්‍රිත නිෂ්පාදනයට යොදා ගැනීමේ දී ඒවායේ අන්තර්ගත අපද්‍රව්‍ය ඉවත් කළ යුතුව ඇත.

ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍ර ක්‍රියා කරවීමට විදුලි බලය අධික ලෙස වැය වන අතර ඒ පිරිවැය දරමින් වර්තමාන මිල ගණන් යටතේ යකඩ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ද නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් සමාගම් ගණනාවක් දැවි තෙල් යොදාගෙන ක්‍රියා කරවන යන්ත්‍ර හරහා ඉවතලන යකඩ පිරිපහදු කරනු ලබයි.

(සංජය ලියනගේ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top