Apr 24, 2017

'ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හවුල් ව්‍යාපාරයකට' - කබීර් Featured

ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ත්‍රිකුණාමල වරාය හා තෙල්ටැංකි ඉන්දියාවට විකිණිමේ සැලැස්මක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය.

කිසිදු වරායක් විකුනන්නේ නැහැ :

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ කිසිදු වරායක් විකිණිමේ සැලැස්මක් නැති අතර එසේ කරන බවට වැරදි මතයක් සමාජයේ පැතිරි ඇති බවත් පැවසීය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මීට පෙරත් ඉන්දියාවට පවරා තිබූ බවත් මෙතෙක් කිසිදු ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය හෝ මේ තෙල් ටැංකි සියල්ල භාවිතා කර නොතිබුණ බවද පැවසීය.

එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙම ටැංකිවලින් කිසිවක් මෙතෙක් හිමිව නොතිබූ බවද පැවසූ කබීර් හෂීම් මහතා අගමැතිවරයාගේ උපදෙස් පරිදි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය දා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ බවත් එහිදී ඉහත එකඟතාවයන්ට එළැඹී ඇති බවත් ඒ සියල්ල සිදුවන්නේ ගිවිසුමක් අනුව පමණක් බවත් පැවසීය.


සබැඳි පුවත්

මෝදිගේ වෙසක් සංචාරයේ දී තෙල් ටැංකි දානයක්!

'ත්‍රී මලේ තෙල් ටැංකි විකිණීමේ උත්සාහය පරාජය කරනවා' -ජවිපෙ

ජාතික අපරාධයක් !

'ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට දෙනවා' - ෆොන්සේකා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top