Jul 30, 2022

ඉන්ධන අර්බුදය උග්‍රයි ; චීන - ඉන්දියා ආධාර නොලැබුණොත් කපෝතියි Featured

එළැඹෙන මාසයේදී ඉන්ධන ආනයනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 150 ක මුදලක්වත් ලබා දිය නොහැකි බව තමන්ට දැනුම් දී ඇති බැවින් අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියයි.

සාමාන්‍යයෙන් මසකට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසේ (40,000) නැව් හතරක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් පන්දහසේ (35,000) නැව් දෙකක් අවශ්‍ය බවත් පැවසේ.

මෙසේ එක් නැවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52-55ත් අතර මුදලක් වැය වේ.

මෙරටට මාසික ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන් ඩොලර් මිලියන 450ක් පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීම සඳහා ද ඩොලර් මිලියන 35ක් ගෑස් සඳහා ද, ඩොලර් මිලියන 30ක් ගල් අඟුරු සඳහා ද වැය කෙරෙන බව පැවසේ.

ඉන්ධන සඳහා වැය කරන ඩොලර් මිලියන 450 න් ද ඩොලර් මිලියන 150 ක් ම වැය කරන්නේ මාසික විදුලි අවශ්‍යතාව සඳහා ජනන ක්‍රියාකරවීමට ය.

තෙල් අර්බුදයක් නොමැති දිනවල ඩීසල් මෙට්‍රික් ටොන් 5,500 ත් 6,000ත් අතර ප්‍රමාණයක් දෛනිකව වෙළඳපොළට නිකුත් කළද මේ දිනවල නිකුත් කරනු ලබන්නේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3,500ත් 3000ත් අතර ප්‍රමාණයක් පමණක් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් පවසයි.

එමෙන්ම සාමාන්‍ය දිනකදී මෙට්‍රික් ටොන් 3,500 ත් 3,700 ත් අතර පෙට්‍රල් ප්‍රමාණයක් නිකුත් කළද මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,000 දක්වා සීමා කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී උපරිම ධාරිතාවකට ඉන්ධන නිකුත් කළ බවත් මැයි මාසයේ සිට ඉන්ධන අර්බුදය උග්‍ර වූ බැවින් මෙලෙස ඉන්ධන සීමා කිරීමට පියවර ගත බවත් හෙතෙම සඳහන් කරයි.

දැනට ඇති ඉන්ධන තව දින 20කට පමණ ප්‍රමාණවත් ලෙස බෙදාහැරීම අභියෝගයක් වනු ඇති බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එම නිසා අගෝස්තු 01 වැනිදායින් පසු ඉන්ධන සීමිතව බෙදාහරින බව සංස්ථාව පවසයි.

අගෝස්තු මස මැද පමණ සිට මෙරටට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් අගෝස්තු මාසයේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව්වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බව මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මාධ්‍යට පැවසුවේය.

මෙරට සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක බැවින් ඉන්ධන ආනයනය කරගැනීමට ඩොලර් මිලියන 550ක් සොයාගන්න තිබෙන එකම ක්‍රමය ඉන්දියාව හෝ චීනය ණය ආධාරයක් හෝ ලබාදීම පමණක් බව ඔහුගේ මතය වී තිබේ.

නමුත් එම රටවල්වලින් සහය ලැබෙනවාද යන්න අවිනිශ්චිත බව මහා බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

මූලාශ්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top