Aug 07, 2022

රාජපක්ෂ සහෝදරයෝ එළියට දැම්මේ SIS ගේමකින්! Featured

හිටපු ජනපති හා අගමැති ඉවත් කර ආණ්ඩුව පෙරළීමට රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවා කටයුතු කළ බවට සැකයක් පවතින්නේ යැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට මහතා දැනුම් දී තිබේ.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත්තේ ජුලි මස නව වැනිදා ජනාධිපතිවරයා ඉවත් කිරීමට කොළඹට පහළොස්දහසක සෙනඟක් පැමිණෙන බව රාජ්‍ය බුද්ධි අංශය දැනුම් දී තිබූ බවයි.

නමුත් ඊට වඩා වැඩි සෙනඟක් පැමිණි බවද පොලිසිය හා හමුදාවට ඉදිරිපත් කළ බුද්ධි වාර්තා අරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු නොකර ඇති බවද මන්ත්‍රිවරු මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවේ දී මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද ඊට අවස්ථාව ලබා නොදී මන්ත්‍රිවරු ප්‍රකාශ කළේ අනිවාර්යෙන්ම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා මෙහිදී මහජන ආරක්ෂක ඇමැතිවරයා සමග මත ගැටුමක්ද ඇති කර ගත් බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව මීළඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී අනිවාර්යෙන්ම සාකච්ඡා කරන බවද මන්ත්‍රිවරු අවධාරණය කර ඇති බව පැවසේ.

එම නිසා පොලිස්පතිවරයා ඉවත් කර බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන ලෙස මන්ත්‍රිවරුන් මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මූගාශ්‍රය - අරුණ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top