Aug 10, 2022

චීන නැවේ වැඩේ අවුල් කළේ නිලධාරීන් ; ඇමති දන්නෙත් නෑ - හිටපු ජනපති Featured

විදේශ අමාත්‍යවරයාගේ දැනුවත් වීමකින් තොරව අමාත්‍යාංශය නිළධාරින් කටයුතු කළ ආකාරය හේතුවෙන් යුඇන් වාන්ග් 5 චීන නෞකාව සම්බන්ධ ගැටළුව අවුල් වූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙරටට පැමිණීම පමා කරන ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2022 අගෝස්තු 08දා චීනයෙන් ඉල්ලා තිබුණි.

මෙම නෞකාව ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ ජුනි 28දා බවත්, ඒ අනුව එම නෞකාවට ජූලි 12දා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බවත් ඒ අනුව එම නෞකාව ජූලි 14දා චීනයෙන් පිටත්වූ බවත්  එම මහතා පැවසුවේය.

"නමුත් මට තියෙන ආරංචිය විදේශ ඇමතිවරයාවත් දන්නේ නැතුව නිලධාරීන් විසින් මේ කටයුත්ත කරලා මෙය අවුල් කළැයි කියන එකයි.

"චීනයේ සිට මහමුහුදේ දින 24ක් ගිය පසුව නැවට නැවත එන්න එපා කියලා ශ්‍රී ලංකා රජය දැනුම් දී තිබෙනවා. ඒ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට දින 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. විශේෂයෙන්ම දැනගැනීමට තිබෙනවා චීන නෞකාව හම්බන්තොටට පැමිණීමෙන් පසුව එහි සිටින 2,000කට වැඩි සේවක පිරිසට ආහාර අවසන් වෙනවයි කියන එක. ඒ නිසා ඔවුන්ට ආහාර පිළිබඳ ප්‍රශ්ණයක් ඇතිවෙනවා."

"මෙම නැවට අගෝස්තු 15 වැනි දිනෙන් පසුව මෙරටට පැමිණෙන ලෙසයි වාචිකව විදේශ කටයුතු අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙන්නේ."

"එපමණක් නොව, පකිස්තානයේ යුද නෞකාවක් වන PNS Taimur සිය මංගල ගමනේ එක් නැවතුම්පොළක් ලෙස අගෝස්තු 12දා කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මෙම නෞකාවත් චීනයේ නිෂ්පාදිත නෞකාවක්. මෙම නෞකාව කොළඹ වරායට පැමිණෙන්නේ චීනයේ සිටයි... පකිස්තානු නෞකාවට කිසිඳු බලපෑමක් නොකිරිමටත්, චීන නෞකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස දැන්වීමත් රටවල් අතර තවත් රටවල් හෑල්ලුවට ලක්කිරීමක් නොවේද?," යැයි ඔහු ප්‍රශ්ණ කළේය.

තමා ජනාධිපතිව සිටියදී චීනය හා ශ්‍රී ලංකාවේ පැවති දැඩි මිත්‍රත්වය පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුව දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීමට චීන ජනපති ෂී ජින්පිං මහතා කටයුතු කළ බවයි.

තමා ජනාධිපවරයා ලෙස ශක්තිමත් කරන ලද විදෙස් සම්බන්ධතා පසුගිය වසර 3 ක කාලය තුළදී බරපතල ලෙස බිඳ වැටුණු බවද ඔහු කියා සිටියේය.

ජාත්‍යන්තර සහයෝගය නොමැතිව පවතින ආර්ථික, දේශපාලන අර්බුදය හා සමාජ අර්බුදය යන සියලු ගැටළු විසඳීමට ලංකාවට කෙසේවත් නොහැකි බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නිසියාකාරයෙන් ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය නොකර ගැනීම හේතුවෙන් ඉතා නරක තැනකට රට පත්වන බවත්, අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් හා විශේෂයෙන්ම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමට තමා රජයට යෝජනා කරන බවද සිරිසේන මහතා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top