Aug 11, 2022

බිත්තරේ 60ට නැග්ගුවට කුලියාපිටියේ තාම 35යි

බොහෝ ප්‍රදේශවල මේ දිනවල බිත්තරයක් රුපියල් 58 - 60 ත් අතර මුදලකට අලෙවි වූවත්, තම ගොවිපල වල නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 35 ක මුදලකටවත් අලෙවි කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කුලියාපිටිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොළ හිමියෝ පවසති.

ඉන්ධන අර්බුදය පැවතීමට පෙර, තම ගොවිපලවල නිෂ්පාදනය කරන බිත්තර, තම ලොරි රථ වලින් දුර බැහැර ප්‍රදේශවලට රැගෙන ගොස් තොග වෙළෙඳුන්ට අලෙවි කරනු ලැබුවත්, මේ වන විට එම ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අතරමග නැවතී ඇතැයි ඔවුහු පවසති.

මේ නිසා කොළඹින් බැහැර සිට පැමිණෙන වෙළෙඳුන්ට අඩු මිලට බිත්තර අලෙවි කිරීමට සිදුවී ඇත්තේ බිත්තර විශාල ප්‍රමාණයක් තමන් සතුව රැස්කර තබා ගැනීමට නොහැකි නිසා බවද ඔවුහු පවසති.

දුරබැහැර ප්‍රදේශවල බිත්තර සඳහා අධික ඉල්ලුමක් පැවතීම නිසා, කුකුළු ගොවිපොළ වලින් මෙලෙස අඩු මිලට මිලදී ගන්නා බිත්තර, ඔවුන් තොග රැස්කර ගෙන අධික ලාභයක් ලබමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සිදුකරන බව ඔවුහු පවසති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top