Aug 11, 2022

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් - ජනපති Featured

සෑම පක්ෂයකට ම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

මෙහිදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ද සඳහන් කර තිබුණි.

කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හා සමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගි කර ගැනීමේ වැදගත්කමත් රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, කමිටු ක්‍රමය නියෝජනය කරනවා ද, ඒසේ නැති නම් ආණ්ඩුවට එක් වනවා ද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙස ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top