Aug 11, 2022

දඬුලේනා ජාතික සත්ත්වයාගෙන් ඉවත් වෙයි ද? Featured

ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා ලෙස නම් කර ඇති දඬුලේනා ඉවත් කොට ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යන සත්ත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයෙක් නොවන දඬුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කරන ලද්දේ කවර පදනමක පිහිටාද යන්නත්, එම නම් කිරීම සිදුකළේ කවුද යන්නත් මේ වනතුරු සොයාගත නොහැකි වී ඇති ලෙස ය.

මෙම සත්ත්වයා නම් කළ පාර්ශ්ව හෙළි කරගෙන එසේ නම් කිරීමට හේතු ඔවුන්ගෙන් විමසා බැලීමෙන් පසු මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ වන විට භෝග වගාවන්ට වැඩි ම හානි සිදුකරන සත්ත්වයන් දෙදෙනා වන්නේ මොනරා හා දඬුලේනා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකදී හෙළි වූ බවත් පොල් හා කොකෝවා ඵලදාව දඬුලේනා අතින් විශාල ප්‍රතිශතයක් විනාශ වන බවත් ඔහු කියා සිටියේ ය.

තව ද මෙම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීම හේතුවෙන් වගා හානි අවම කර ගැනීමට නීත්‍යානුකූල කිසිදු පියවරක් ගත නොහැකි බැවින් එකී යෝජනාව මතු වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top