Apr 27, 2017

GSP+ දෙනවද ? නැද්ද ? තීරණාත්මක ඡන්ද විමසීමක් Featured

GSP+ හෙවත් වරණීය බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව වාමාංශික සහ හරිත මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අද (27) දිනයේදී සිදුකිරීමට නියමිතය.

යුරෝපා පාර්ලිමේන්තුව විසින් එම යෝජනාව ඊයේ (26) සාකච්ඡාවට ගත් අතර අද දිනය තුලද එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ ඉන් අනතුරුව බව වාර්තාවේ.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එම විරෝධය හමුවේ ශ්‍රී ලංකාවට යුරෝපා GSP+ සහනය නොලැබී යාමේ අවදානම හමුවේ සසල වී සිටින ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට නියෝජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් බෙල්ජියමට යවා තිබේ.

ආණ්ඩුවේත් විපක්ෂයේත් මන්ත්‍රී කණ්ඩායමක් සමගින් බ්‍රසල්ස් අගනුවරට ගොස් සිටින නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ බදු සහනය ලබා ගැනීම සඳහා සහායවන ලෙස තමන් යුරෝපා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි.

මන්ත්‍රීවරුන් 52 කින් සැදුම්ලත් එක්සත් යුරෝපා වමේ සහ උතුරු යුරෝපා හරිත වමේ (GUE/ NGL) ඒකාබද්ධ කණ්ඩායම විසින් යුරෝපා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති යෝජනාවකින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් පොරොන්දු වූ වගකීම් ඉටු කර නැති ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට GSP+ නැවත ලබා නොදිය යුතු බවයි.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/3726-gsp#sigProId45f14c718e

බරපතල විරෝධයක්

“යුරෝපා සංගමය බදු සහන සැලසීම වලක්වා ලීම සඳහා අවසාන මොහොතේ විරෝධතාවක් ගොනු කිරීමත් සමග ඊට අදාළ කාරනා සම්බන්ධයෙන් මම යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හමුවුනා,” යි නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබේ.

“මන්ත්‍රීවරුන් අතරේ මීට පුළුල් සහායක් ලැබුනත්, විවිධ හේතු නිසා ඊට බරපතල විරෝධයක් දක්වන කණ්ඩායම් සිටිනවා.”

බෙල්ජියමට ගොස් සිටින මන්ත්‍රී කණ්ඩායමේ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා GSP+ සහනය නැවත ලැබීම ගැන දැඩි විශ්වාසයක් පල කළේය.

'රේඩියෝ ගගන' සමග බ්‍රසල්ස් නුවර සිට දුරකතනයෙන් එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති, දෙමළ ජාතික සන්ධානයේ එස් ශ්‍රීධරන් සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන්ද බදු සහනය ලබා ගැනීම වෙනුවෙන් සහාය පල කරන බවයි.

සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසාවට එරෙහි සම්මුතිය හා වාර්ගික අගතිය දුරු කරලීම සඳහා වන සම්මුතිය ආදී GSP+ සම්බන්ධයෙන් සෘජුවම අදාළ ප්‍රඥප්ති සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමට රජය පියවර ගෙන නැති බව GUE/ NGL මන්ත්‍රී කණ්ඩායම විසින් සභාගත කර ඇති යෝජනාවේ සඳහන් වෙයි.

අද දිනයේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී එම යෝජනාවට අඩු වශයෙන් මන්ත්‍රීවරුන් 373 දෙනකුගේ සහාය ලැබුනොත් ශ්‍රී ලංකාවට GSP + බදු සහනය නොලැබී යනු ඇත.

සබැඳි පුවත් :
රජය GSP+ කොන්දේසිවලට එකඟවේ ! 

ලංකාවට GSP+ නොදිය යුතු බවට යෝජනාවක් !

දෙනවා කීව GSP+ නොදෙන ලකුණු ?

මානව හිම්කම් ඉටු නොවේ : GSP+ අනතුරේ!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top