Apr 27, 2017

'ශ්‍රීලනිපය, එජාපයට පවා දීලා' - මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට පාවාදී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

''දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිය පාවාදීමක්'' ඔහු අවධාරණය කර සිටියි.

මාතලේ මොයිසි ක්‍රසන්ට් පාරේදී ඊයේ මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපතිවරයා, ආණ්ඩුවේ බහින කලාව ආරම්භ වුණු බව ද කියා සිටියේය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධායකත්වයෙන් ඉවත් කිරීම මෝඩ ක්‍රියාවක් මේ අස්කිරීම පක්ෂයේ වුවමනාවට නොව සිරිකොතේ වුවමනාවට සිදුව ඇති බව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසූ හිටපු ජනාධිපතිවරයා, "ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එදත් ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය තියෙන කෙනෙක්" බවද කීය.

''අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති තියෙන්නේ අපේ ගාව. ජනක වැනි පක්ෂයේ නායකයන් ඉවත් කිරීම කළ මහා වැරැදි වැඩක්. මෙච්චර කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නු මාතලේ අයට කළ අපහාසයක්. මේ අය පළිගැනීම් අත් හරින්නේ නැහැ. දැන් ජනතාවගෙනුත් පළිගන්නවා.''

ෆීල්ඩ් මාර්ෂල් කෙනකුට භාරදුන් රටක්:

මහජන විරෝධතා සහ උද්ඝෝෂණ මර්දනයට ෆීල්ඩ් මාර්ෂල් කෙනකුට භාරදුන් රටක් ලොව තිබේදැයි මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ගෙන් විමසා සිටියේය.

''උද්ඝෝෂණ මර්දනය ෆීල්ඩ් මාර්ෂල් කෙනකුට භාරදීලා. මේක යුද්ධයක්ද..? මේක උතුර නැඟෙනහිර වගේ වැඩක්ද..?'' ඔහු ප්‍රශ්න කර සිටියේය.

මහින්දට අනතුරු ඇඟවීමක් !

මේ අතර, ඊයේ (26දා) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ''පක්ෂ විනය කැඩුවොත් මහින්ද රාජපක්ෂට වුවත් වැඩ වරදින බව'' අවධාරණය කර සිටියේය.

පක්ෂයේ නීතිය සියලු දෙනාටම සාධාරණ බවත් එය මහින්ද රාජපක්ෂටද මහින්ද අමරවීරටද දුමින්ද දිසානායකට මෙන්ම මෛත්‍රිපාල සිරිසේනටත් ගමේ සිරිපාලටත් එක හා සමානව ක්‍රියාත්මක වන බවත් පැවැසූ මහ ලේකම්වරයා, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කෙළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top