May 02, 2017

''එජාපය ඕනෑම ඡන්දයකට සුදානම්'' - රනිල්

එක්සත් ජාතික පක්ෂය ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමිනි.

''එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප්‍රමාණයක් අප සමඟ මේ මැයි දිනයේ දී අත්වැල් බැඳගෙන සිටිනවා. මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. පුංචි බොරැල්ල ආසන්නයේ පෙලපාළිය නිරීක්ෂණය කරද්දී මා ඒ රථ දුටුවේ සවස 4.00ට පමණ. ඒ රථ පිටියට ළඟා වෙන්නේ දැනුයි.

එතැන සිට මෙතැනට එන්නට පැය එකහමාරක පමණ කාලයක් ගත වී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප්‍රමාණය එයින්ම අවබෝධ කර ගත හැකියි.

 මේ සෙනඟ දුටු විට අප ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. '' අගමැතිවරයා පැවසිය.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පැවැත්විණි. පස්වරු 1ට මරදානෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙලපාළියේ ගමන් ගත් ජනතාව හවස 6.45ට පමණ රැස්වීම අවසන් වනතුරුම කැම්බල් පිටියට ළඟා වීම අවසන් වී නොතිබුණි.

කැම්බල් පිටිය පිරී ගොස් තිබූ නිසා ජනතාව බේස් ලයින් පාරේ සිට රැස්වීම නැරඹූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරදාන ඇක්වයිනාස් විදුහල ඉදිරිපිට සිට මැයි දින පෙලපාළිය නරඹමින් පෙලපාළියේ ගමන් කළ ජනතාව දිරිමත් කළේය.

අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, කබීර් හෂිම්, රවි කරුණානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අකිල විරාජ් කාරියවසම්, රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී. පෙරේරා සහ සුරේෂ් වඩිවේල් මහත්වරුද රැස්වීම ඇමතූහ.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top