May 03, 2017

'ගෝල්ෆේස් ගිය අයට කපන්නේ නැහැ' - එස්‌.බී.

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සහභාගි වූ කිසිවෙකු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් කපන්නේ නැතැයි අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා 'දිවයින' පුවත්පතට ප්‍රකාශ කර ඇත.

කෙසේවුවද, ඒකාබද්ධ විපක්‍ෂයේ ගාලුමුවදොර මැයි රැලියට ඔවුන් බලාපොරොත්තු වූ තරමට සෙනඟ පැමිණියේ නැතැයි ද ඇමතිවරයා පවසයි.

ගාලුමුවදොර රැලියට අති විශාල පිරිසක්‌ සිටි බව ඇතැම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළත් ගාලුමුවදොර මැයි රැලියට පැමිණියේ තිස්‌ දහසක්‌ හෝ තිස්‌ පන්දහසක්‌ පමණ පිරිසක්‌ බවට ගණන් බලා තිබූ බවද දිසානායක ඇමැතිවරයා සඳහන් කරයි.

''කවුරු හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අත්හැර ගියොත් ඔවුන් පක්‌ෂය කරා ආපසු එනවා. දේශපාලන ඉතිහාසයේ එහෙම සිද්ධවෙලා තිබෙනවා. පහුවෙලා ඔය කොයි කවුරුත් පක්‌ෂය කරා ආපසු එනවා. ඔය ගෝල්ෆේස් රැලියට නුවර පැත්තෙන් ගිහින් තියෙන්නේ බස්‌ හතක්‌ පමණයි. ඔය කියන තරම් සෙනඟ ඒකෙ ඉඳලා නැහැ. '' යයි ද ඇමතිවරයා පවසයි.

Johnsenewirathna 670px 05 02 17
''විශාල පිරිසක්‌ හිටියා''

කෙසේවුවද, කම්කරු ඇමැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති ජෝන් සෙනෙවිරත්න මහතා පැවසුයේ, කොළඹ ගාලු මුවදොර පැවැත්වූ ඒකාබද්ධ පෙරමුණේ මැයි රැලියට අති විශාල පිරිසක්‌ පැමිණි බව තමා පිළිගන්නා බවයි.

''මාධ්‍ය මගින් මෙම පිරිස මා දුටුවා.  ගණන් කිව නොහැකි නමුත් මෙම ගාලු මුවදොර රැලියට විශාල පිරිසක්‌ පැමිණි බව කිව හැකියි.'' ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගාලු මුවදොර පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් යලි පක්ෂය වෙත දිනා ගතයුතු බව ඇමතිවරයා ස්ථාවරය වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top