May 06, 2017

'මෛත්‍රීයි - මහින්දයි සමඟි කරන වෑයම සාර්ථකයි'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සමගියක් ඇතිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එක්කිරීමට තමන් දරන උත්සාහය මේවනවිට සාර්ථක වී ඇතැයි අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසයි.


''ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද මහත්තයා සමග සමඟි වෙන්න කැමැතියි. මහින්ද මහත්තයා එක්ක කතා කළාම කියන්නෙත් අපි එකතු වෙන්න ඕන එකතු වෙමු කියලා. මම ශ්‍රීලනිපය නැවත එක් කළ යුතුයි කියන තැන ඉන්නවා. ඒ නිසා රාජපක්ෂ මහත්තයා එක්ක කතා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරි රැස්වීමේදී මට බලය දුන්නා.

මේ දෙගොල්ලෝ එකතු නොවුණහොත් 2020 ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න බැහැ. අපි එකතු නොවුණොත් එජාපයයි ආයි බලයට එන්නේ. ඒක මහින්ද මහත්තයාගේ කට්ටිය මෙන්ම මෛත්‍රිපාල මහත්තයාගේ කට්ටියත් තේරුම් ගන්න ඕන.'' යයි ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා පවසයි.

'මව්බිම' ඉරිදා පුවත්පත සමග පැවති සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කර තිබේ.

ඒකාබද්ධයේ අය පොහොට්ටුවට යන්නේ නැ :

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පොහොට්ටුවට යන්නේ නැතැයි ද ඇමතිවරයා අවධාරණය කර සිටියි.

''ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් මට ප්‍රකාශ කරපු දෙයක් තියෙනවා. අපි පොහොට්ටුවට යන්නේ නැහැ කියලා. ශ්‍රී ලනිපය හැදිලා එනකම් මේ අය ඉන්නවා.

ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ රංජිත් සොයිසා, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹුර මේ අය එක්ක මම නිතරම කතා කරනවා. මේ අය හැම වෙලාවේම කියන්නේ පොහොට්ටුවට යන්නේ නැහැ, ශ්‍රී ලනිපයෙම ඉන්නවා කියා..'' අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත.

එම පුවත්පත් සාකච්ජාව පහත පළවේ.

'එදත් අදත් හෙටත් මම ශ්‍රී ලංකා' :

රාජපක්ෂවරු හොරු නම් එදා කැබිනට් එකේ හිටිය හැමෝම හොරු. ඒ වගකීම හැමෝම ගත යුතුයි කියා ඔබ කියා තිබුණා. මෙහෙම දෙයක් කියන්න බලපෑ හේතුව මොකක්ද?

මේ වුණ දේට මම කනගාටුවෙන් ඉන්නේ. රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක් තියලා කිව්වා තව මාසයකින් දෙකකින් මම මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට යනවා කියලා. මම දන්නේ නැහැ එයාට ඒ ආරංචිය කොහෙන් ලැබුණාද කියලා.

 අපි දෙයක් කරන කොට මම අවංකව කරනවා. මේ ආණ්ඩුව එක්ක වසර 2ක් බැඳී ඉන්නවා. එහෙම නම් අපි අවංකව ඒ වසර දෙක ආණ්ඩුවේ ඉන්න ඕන. ජනාධිපතිතුමාට අගමැතිතුමාට පක්ෂපාතව අපි වැඩකරනවා. මම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එදත් අදත් හෙටත් මම ශ්‍රී ලංකා එකේ.

 මම අනිත් අය වගේ ශ්‍රී ලංකා එක දාලා ආණ්ඩුවට ආවේ නැහැ. පක්ෂයේ ඉන්න ගමන් තමයි ආණ්ඩුවේ ඉන්නේ. එහෙම මටයි මේ අය චෝදනා කරන්නේ.

ඇත්තටම ඔබ මහින්ද රාජපක්ෂ ගාවට යන්න හිතාගෙනද ඉන්නේ?

නැහැ. මම අනික් අය වගේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන නැහැ. මම බොහොම අවංක දේශපාලනයක් කරන අයෙක්. මම එකක් කියලා අනෙක් පැත්තට හැරිලා තව එකක් කියන කෙනෙක් නෙමෙයි. මම එදත් ශ්‍රී ලංකා අදත් ශ්‍රී ලංකා. පක්ෂ හත අටකට ගිය අයට කකුල් දෙක දෙපැත්තේ තියාගෙන දේශපාලනය කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් එහෙම දේශපාලනයක් කරන්න මට බැහැ.

දැන් යහපාලනයේ වසර දෙක ඉවරයි. දැන් වෙන්වෙන්න කාලය ඇවිත්. ආණ්ඩුව ඇතුළේ සීතල යුද්ධ යන්නේ මේ නිසාද?

ඒක පක්ෂ දෙක සාකච්ඡා කරන්න ඕන. පක්ෂයක් විදියටයි අපි ආවේ.

'මෙහෙම වෙනකොට ඉන්න අමාරුයි' :

ඉස්සරහට ගියොත් දිගටම ඉන්නවා?

එහෙම තීන්දුවක් නැහැ. මට මෙහෙම දේවල් වෙනකොට ඉන්න අමාරුයි.

ආණ්ඩුවෙන් ඉවත් වෙනවද?

නැහැ. ඒ වුණාට මම කලකිරිලා ඉන්නේ. අගමැතිතුමා කනගාටුව ප්‍රකාශ කළා. ඇමැතිවරු පවා මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. මංගල සමරවීර, මලික් සමරවික්‍රම, දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා එකේ අය කනගාටුව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා සමාව ඉල්ලුවා. කිසිම කෙනෙක් මේක අනුමත කරන්නේ නැහැ.

රාජිත ඇමැතිතුමා පෞද්ගලික තරහක් තියෙනවාද?

නැහැ. එතුමයි මමයි පහුගිය කැබනට් එකෙත් හිටියා. එකම දේ තමයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මාධ්‍යයට කියපු දේ වැරැදියි කියලා මම කිව්ව එක. එයා හිතනවා ඇති එයාගේ ප්‍රකාශයට මම අභියෝග කළා කියා. රාජිත බොරුවක් කිව්වේ. මම ඒක නිවැරැදි කරන්න ඕන. ඒක මගේ ක්ෂේත්‍රයට බලපානවා.

කම්කරුවන් මර්දනය කරන්න විශේෂ මර්දන ඒකකයක් සරත් ෆොන්සේකා ඇමැතිවරයා යටතට පත් කරන්න හදන කතාවනේ ගැටුමට මුල් වුණේ?

ඔව්.

එහෙම එකක් හදනවද?

නැහැ.

පැතිරුණේ එහෙමනේ?

ඒක එළියට ගිය ගමන් මගෙන් අහන්න ගත්තා. වෘත්තිය සමිති නායකයන් වෘත්තිය සමිති හැමෝම මගෙන් ඇහුවා. පස්සේ එදින රාත්‍රියේ ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන කතා කළා.

'රාජිත වැරැදි විදියට කියලා..ජනාධිපති කිව්වා''

ජනාධිපතිතුමා මොකද කිව්වේ?

ජනාධිපතිතුමා කිව්වා එහෙම එකක් නැහැ. මම මේ කියපු එකක් රාජිත වැරදි විදියට කිව්වා කියලා.

එහෙම පත් කිරීමක් ඉදිරියටත් නැද්ද?

එහෙම එකක් නැති බව ජනාධිපතිතුමාගේ කතාවෙන් මට තේරුණා. ඊට පස්සේ මම ඒක මාධ්‍යයට කිව්වා. මේකේ සත්‍යයක් නැහැ. කිසි කෙනෙක් බය වෙන්න ඕන නැහැ කියා.

සරත් ෆොන්සේකාට එහෙම තනතුරක් දෙන්න තීන්දුවක් අරගෙන නැහැ කියා මම කැබිනට් එකේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන්ගෙනුත් ඇහුවා කැබිනට් එක ඇතුළේ එහෙම දෙයක් කතා කළාද කියා. එහෙම කතාබහට ආවේ නැහැ කිව්වා.

ඔබතුමා කැබිනට් එකේ ඉන්නවනේ?

ඔව්.

කැබිනට් එකේ වෙන දේවල් ඔබතුමා දන්නේ නැද්ද? කැබිනට් එකේ වෙන දේවල් අනෙක් ඇමැතිවරුන්ගෙන් අහන්නේ ඇයි?

ඔය දවසේ මම කැබිනට් එකට ගියේ නැහැ. රත්නපුර ගිහින් එනකොට රෑ වුණා. ඒ නිසා යන්න බැරිවුණා.

කැබිනට් පත්‍රිකාව කලින් ආවේ නැද්ද ඔබතුමා අතට?

ආවා. ඒ දිනම අදාළ කැබිනට් පත්‍රිකාවේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මම ජේ‍යෂ්ඨ ඇමැතිවරුන්ගෙන් ඇහුවා. කැබිනට් එක ඇතුළෙත් එහෙම තීන්දුවක් ගත්තේ නැහැ කිව්වා. අගමැතිතුමාත් ඒක පැහැදිලිව ප්‍රකාශ කළානේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියා.

රාජිත ඇමැතිවරයා එහෙම ප්‍රකාශයක් කළේ ඇයි?

ඒක තමයි ප්‍රශ්නේ. එයා වගකීමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන විට කැබිනට් ප්‍රකාශකගේ ප්‍රකාශ පිළිගන්න බැරිවෙනවා. මෙහෙම අය එක්ක අපි වැඩකරන්නෙ කොහොමද කියන එකයි ඊළඟ ප්‍රශ්නය.

ලාභෙට අරක්කු බොන්න දෙන්න ඕන :

ඔබ එක එක කාලෙට එක එක ප්‍රකාශ කරනවා. ගල් අරක්කු මිල අඩු කළ යුතුයි කියා ඔබ කියා තිබුණා? ඔබ දැන් මත්පැන් ප්‍රචාරයත් කරනවාද?

මම ඒක කිව්වේ ගල් අරක්කු ප්‍රචලිත කරන්න නෙමේ. මම රත්නපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති. පසුගිය රැස්වීමේදී නිලධාරිනියක් ප්‍රකාශ කළා මත්පැන් සම්බන්ධව පවතින තත්ත්වය. එතැනදි ප්‍රකාශ වුණා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය විකිණීම භාවිතය වැඩිවෙලා කියලා. වතුවල හැමතැනම මේක තියෙනවා. ඒක විනාශකාරී තත්ත්වයක්. මිනිස්සු මැරෙනවා. ඒ මිනිසුන්ට බොන්න එපා කිව්වට ඒ මිනිස්සු බොනවා. මේ අය උදේ ඉඳන් මහන්සි වෙලා සවසට බොනවා. මම ඒ ගැනයි කිව්වේ.

මම මේ ගැන කැබිනට් එකෙත් කතා කළා. අඩුම තරමේ මිනිසුන්ට බොන්න ලාභ අවම හානි තියෙන බීමක් ඕන. ඒ නිසයි මම කිව්වේ ලාභෙට අරක්කු බොන්න දෙන්න ඕන කියලා.

තව ටිකෙන් ඒකත් වැරැදියට යන්න තිබුණා?

කැබිනට් ප්‍රකාශක එදා හිටියේ නැහැ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.

ගැටඹේ එක ගොඩක් සාර්ථකයි :

මැයි දිනය ගැන මොකද හිතෙන්නේ?

මැයි දිනය සියලු දෙනාම සහභාගිවෙලා හොඳට කළා.

මහින්ද මහත්තයාගේ රැලියට ලක්ෂ 5ක් විතර ආවා කියලයි කියන්නේ?

එහෙම කියනවා

ඔබතුමා මොකද හිතන්නේ ඒ ගැන?

මම ඒ මැයි රැලිය දැක්කේ නැහැ. මම දැක්කේ ගැටඹේ එක. ඒකෙත් සෙනඟ හිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා කියා හිතෙන්නේ නැද්ද?

මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ සෙනඟ ඉන්නවා. ඒ වගේම අපේ පළමු රැස්වීම හයිඩ්පාර්ක් එකේ ඒක බොහොම දුර්වලයි. දෙවැනි එක ගාල්ලේ ටිකක් සාර්ථකයි. ගැටඹේ එක ගොඩක් සාර්ථකයි. ඒකෙන් පෙනෙනවා ජනතාව ශ්‍රීලනිපය වටා එක්වෙනවා කියා.

රහස් සාකච්ඡා නැහැ :

ආණ්ඩුවේ සමහර ඇමැතිවරු මහින්ද මහත්තයා එක්ක රහස් සාකච්ඡා පවත්වන්නේ ඇයි? ඔබතුමාටත් වක්‍රව එවැනි චෝදනාවක් ආවා?

මම රහස් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ අය එක්ක මම සාකච්ඡා කරනවා.

මහින්ද මහත්තයාගේ කණ්ඩායම එක්ක?

ඔව්. මහින්ද මහත්තයා හම්බවුණාම එයා එක්ක සාකච්ඡා කරනවා. මොකද මම ශ්‍රී ලනිපය නැවත එක් කළ යුතුයි කියන තැන ඉන්නවා. මම මේ අය එක්ක කතා කරනවා කියා ජනාධිපතිතුමාත් දන්නවා. මම ඒ ගැන එතුමටත් කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරි රැස්වීමේදී මට ඒ ගැන බලය දුන්නා.

ප්‍රසිද්ධියේම මහින්ද පාර්ශ්වය සමඟ කතාකරන්න?

ඔව්. මහින්ද අමරවීර ඇමැතිතුමත් කිව්වා. මේ දෙකොටස එකතු කරන්න සාකච්ඡා කරන්න.

ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් විදියටද?

නැහැ. ශ්‍රී ලනිප නියෝජිතයෙක් විදියට මම ගිහින් සාකච්ඡා කරනවා. මේ දෙගොල්ලෝ එකතු නොවුණහොත් 2020 ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න බැහැ. අපි එකතු නොවුණොත් එජාපයයි ආයි බලයට එන්නේ. ඒක මහින්ද මහත්තයාගේ කට්ටිය මෙන්ම මෛත්‍රිපාල මහත්තයාගේ කට්ටියත් තේරුම් ගන්න ඕන.

ජනාධිපතිතුමා කැමැතිද සමඟි වෙන්න?

ජනාධිපතිතුමාගේ විරුද්ධත්වයක් නැහැ. එතුමා මහින්ද මහත්තයා එක්ක සමඟි වෙන්න කැමැතියි. මහින්ද මහත්තයා එක්ක කතා කළාම කියන්නෙත් අපි එකතු වෙන්න ඕන එකතු වෙමු කියා.

ඇයි එකතුවෙන්නේ නැත්තේ. තාම පරක්කුයිනේ?

ශ්‍රී ලනිපය ඇතුළේ ජාතිවාදී කොටස් රිංගලා. පක්ෂයේ පැවැති පදනමට මේ නිසා හානිකර තත්ත්වයක් ඇතිවෙලා. අපට ඕන පක්ෂයේ විදියට අනාගතයට ගැළපෙන ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන්න. මම හැමදාම ඒක කියනවා. මෛත්‍රි මහත්තයයි මහින්ද මහත්තයයි එකතු වෙලා කතා කරන්න ඕන. ප්‍රශ්න නිරාකරණය කර ගන්න ඕන.

'පොහොට්ටුවට යන්නේ නැහැ'

දැන් කපුකම සාර්ථකද?

සාර්ථකයි. උපරිමයෙන්. ඒකාබද්ධයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් මට ප්‍රකාශ කරපු දෙයක් තියෙනවා. අපි පොහොට්ටුවට යන්නේ නැහැ කියලා.

කවුද එහෙම කියන්නේ?

ශ්‍රී ලනිපය හැදිලා එනකම් මේ අය ඉන්නවා. ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ රංජිත් සොයිසා, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹුර මේ අය එක්ක මම නිතරම කතා කරනවා. මේ අය හැම වෙලාවේම කියන්නේ පොහොට්ටුවට යන්නේ නැහැ, ශ්‍රී ලනිපයෙම ඉන්නවා කියා.

වෙසක් එකෙන් පස්සේ කැබිනට් සංශෝධනයකට යයිද?

ඒ ගැන තවම ප්‍රකාශයක් දෙන්න බැහැ.

ද්විත්ව පුරවැසි භාවය නිසා ඉදිරියේදී මැති ඇමැතිවරු කීදෙනෙකුගේ මන්ත්‍රි ධුර නැතිවෙයිද?

ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධානයක්. මූලික වශයෙන් මම ඒකට විරුද්ධයි. ලෝකයේ කිසිම රටක නැති දෙයක්.

ඔබත් මේ ව්‍යවස්ථාවට ඡන්දය දුන්නනේ?

ඔව්. ඒත් තමන්ගේ පහසුව තකා, විවාහය නිසා ද්විත්ව පුරවැසි භාවය ලැබිලා තියෙනවා. ඒ අය මේ රටට සේවය කරන්න කැමැතිනම් අපි ඒ සේවය ගන්න ඕන. ඒකයි මගේ මතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top