May 07, 2017

'මහින්දට මට වඩා ආරක්ෂාවක් මොකටද ? - චන්ද්‍රිකා Featured

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී මාසයේ සිය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනපතිනිය ඒ බව පවසන්නේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මතුකරන විරෝධය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ තමන්ට ආරක්ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන මෙන් ආරක්ෂක මණ්ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්ෂා භටයන් 150 ක් දක්වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි.

එහෙත් රාජපක්ෂ පරිපාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

විදෙස් බලපෑමෙන් :

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40 ක් සහ ඉතා අයහපත් තත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවත් හිටපු ජනපතිවරිය පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපවතින අතර, යහපත් ආරක්ෂක තත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් හිටපු ජනපතිවරියගේ නිවේදනයේ දැක්වේ.

දේශපාලන පලිගැනීමක් :

සාර්ථක මැයි දිනයක් පැවැත්වීමෙන් අනතුරුව "දේශපාලන පලිගැනීමක් වශයෙන්" හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කර ඇති බව ඔහුගේ මාධ්‍ය අංශය චෝදනා කර තිබුණි.

මැයි දිනය මත පදනම්ව එසේ ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාට තවමත් පොලිස් නිලධාරීන් 187 දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේද හමුවේ පැවසීය.
ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිද්ධ වෙච්ච දේ:

1988 වසරේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමේ දී ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් 65 ක් ලබා දුන්න ද 1996 වසරේ ඔහු මිය යන විට ඔහුට සිටි ආරක්ෂකයන් සංඛ්‍යාව 18 ක් පමණක් වූ බවත්, ඩී. බී. විජේතුංග ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන විට සිටි 78 ක ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ඔහු මිය යන විට 12 ක් දක්වා අඩු කර තිබූ බවත් ඇමැතිවරයා සිය කතාවේ දී පෙන්වා දුන්නේය.

2005 වසරේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විශ්‍රාම ගන්නා විට නිලධාරීන් 198 ක ආරක්ෂාවක් ලබා දී තිබුණ ද මේ වන විට හිටපු ජනාධිපතිවරියගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇත්තේ පොලිස් නිලධාරීන් 59 දෙනකු පමණක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.


සබැඳි පුවත් :

''මහින්ද ළඟ අදටත් පොලිසියේ 187ක් ඉන්නවා'' -සාගල

මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අනුර හඬ නගයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top