May 10, 2017

'ශ්‍රීලනිපය දෙකඩ වෙනවාට කැමති නෑ' - චන්ද්‍රිකා Featured

සිය පක්ෂය වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවනවාට තමා අකමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් ඊයේ (09දා) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව කීවාය.

එසේ වුවද මිනීමරුවන් සහ වංචාකාරයන් පක්ෂයට නායකත්වය සපයනවාට තමා අකමැති බවද හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

ජනතාව ඡන්දය දුන්නේ පක්ෂය පිරිසුදු කිරීමට බවද පැවසූ ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්,

"මගේ පක්ෂය කැඩෙනවාට මම කැමති නැහැ. ඒ වුණත් මිනීමරුවන් සහ වංචාකාරයන් මගේ පක්ෂයට නායකත්වය සපයනවා දකින්න මම කැමති නැහැ. ජනතාව අපට ඡන්දෙදුන්නේ පක්ෂය පිරිසුදු කරන්න. දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න. ප්‍රසිද්ධ හොරු, මිනීමරුවෝ පක්ෂයෙන් එළියට ගියා කියලා පක්ෂයට හානියක් වෙන්නේ නැහැ. ඒතුළින් පක්ෂයට තවත් එළියක් ලැබෙනවා" යනුවෙන් කියා සිටියාය.

'විදෙස් විනිසුරුවරුන් අවශ්‍යයි'

විදෙස් විනිසුරන් සම්බන්ධයෙන් මාධ්‍යය කල විමසීමේදී පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය, යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු විභාගවල දී විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබාගැනීම ගැටළුවක් නොමැති බව ද පැවසුවාය.

විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබාගන්නැයි දෙමළ ජනතාව සිදු කරන ඉල්ලීම සාධාරණ බව ද ඇය කියා සිටියාය.

තමා මෙම ප්‍රකාශය සිදු කරන්නේ සාධාරණය පදනම් කරගෙන බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

අත්අඩංගුවට ගන්නා හේතුව ?

ආරක්ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඔවුන් යුද්ධයේදී සිදුකළ වැරදි සඳහා නොව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ප්‍රධානීන් එම නිලධාරීන් සිය විරුද්ධවාදීන් ඝාතනයට යොදාගත් නිසා බව ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top