May 12, 2017

වතුකරයට ඉන්දියාවෙන් තවත් නිවාස 10,000ක්

වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

එමෙන්ම ඉන්දියාව මගින් මෙරටට ලබාදී බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන ගිලන් රථ සේවාව සෙසු පළාත්වලටද ලබාදීමට පියවර ගන්නා බවද ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බව නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවට එක්වෙමිනි.

ඒ සඳහා වතුකරයේ අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එම ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ද හිමිවිය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද සහභාගී විය.

ඉන්දීය අගමැතිවරයකු පළමු අවස්ථාවට :

ඉන්දීය අගමැතිවරයා වතුකරයේ සංචාරයක එක්වුයේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමෙන් අනතුරුවය.

ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක්වන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට පෙර මහත්මා ගාන්ධි හා ජවහර්ලාල් නේරු යන ඉන්දීය නායකයන් වතුකරයේ සංචාරය කර ඇත.

අගමැති මෝදි වතුකරයේ සංචාරයක නිරත වුයේ,  ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද රෝහල විවෘත කිරීම සඳහාය.

TNA සාකච්ජා :

අගමැති මෝදි නෝර්වුඩ් සංචාරයෙන් අනතුරුව මහනුවර දළදා මාලිගාවේ ආගමික උත්සවයකට ද සහභාගී වීමට නියමිතය.

Modhi maithree Ranil

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ප්‍රථම ඉන්දීය අගමැතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් මුණගැසීමටද නියමිත බව වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top