Sathosa

May 13, 2017

'කැබිනට් සංශෝධනයක් වෙනවා' - රාජිත දැන් කියයි

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේ දී සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු එබව කියා සිටියේ, නව ඖෂධවේදීන් 52 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

 "කැබිනට් සංශෝධනයට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් එකඟත්වය පළ කර තිඛෙනවා. රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනය සිදු කරනවා. වෙසක් පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව මම මිට පෙර ප්‍රකාශ කළා. කැබිනට් සංශෝධනයක් වෙසක් පොහොයට පෙර සිදු කරන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුනා. නමුත් එය සිදු වූයේ නැහැ.” යයි ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.

පරස්පර කතාවක් ?

කෙසේවුවද, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා මැයි 09දා නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ, ''කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා අද (09) පස්වරුවේ පැවැසීය'' යන්නයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.

''කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, ඒ පිළිබදව මාධ්‍ය වාර්තා පමණක් පළ වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.'' යයි ද එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඖෂධවේදීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදී සඳහන් කල, වෙසක් පොහොයකට පෙර සිදුනොවන බවට වූ සඳහනක් ඔහුගේ මාධ්‍ය ලේකම්ගේ නිවේදනයේ නොවිය.

සබැඳි පුවත් :
"කිසිඳු කැබිනට් සංශෝධනයක් නැහැ” - රාජිත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top