May 18, 2017

''මෛත්‍රි හිටියෙ නැත්නම් එජාපය තාමත් විපක්ෂයේ''

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවුනා නම්, එක්සත් ජාතික පක්ෂය දැනටත් විපක්ෂයේ බව කැරලි ගහනවා යයි කියන පසුපෙළ මන්ත්‍රීවරුන් සිහිතබා ගතයුතු බව දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා පවසයි.

වැඩිය දැගලුවොත් ජනාධිපතිවරයාට ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට එකාබද්ධයේ මන්ත්‍රීවරුන් සිටින බවද ඔහු කියා සිටියි.

''මෛත්‍රිපාල මහත්මයා එදා පොදු අපේක්‍ෂකයා ලෙස නාවා නම් එජාපය තාම විපක්‍ෂයේ බව, අද ඔය කැරැලි ගහන්න හදනවා කියන එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දැනගත යුතුයි..එය මතක තබාගෙන අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා පීඩාවට පත් නොකර සිටිය යුතුයි. අපිට ආණ්ඩු හදන්න අවශ්‍ය නම් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් සිටින බවද දැනගත යුතුයි'' යයි  ඇමතිවරයා පැවසුයේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පශු සම්පත් හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු විසඳීමේ රැස්වීමකදී ය.

දුෂකයින් අයින් කළ යුතුයි:

''මේ කරන්න යන කැබිනට් සංශෝධනය හොඳ එකක්. වැඩ කරන්නේ නැති අය, දූෂණය කරන අය අයින් කළ යුතුයි. එහෙම කරන එක ගැන ගැටලුවක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා දුවන්න කිව්වාම දුවන, පනින්න කිව්වාම පනින මේ එජාපයේ සුවච කීකරු පසුපෙළ මන්ත්‍රි සෙට් එක අද බොරුවට ජනාධිපතිවරයා පීඩාවට පත් කරන්න එනවා. අපි දන්නවා මේක පස්සේ ඉන්නේ කවුද කියලා.

එදා ජනාධිපතිවරයා තීරණයක් ගත්තේ අවුරුදු ගාණක් හිටපු පක්‍ෂයේ ඉඳලා. හරි වෙලාවට හරි තීරණය ගන්න ජනාධිපතිවරයා පසුබට වෙන්නේ නෑ. ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩ කරන්න. වැඩ කරන ඇමැතිවරු. එහෙම නැතිව නිකන් දූෂණ කරන අය නොවෙයි.

ඒ නිසා මේ නාට්‍ය රඟ දක්වන එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන් දැන ගන්න ඕන වැඩිපුර උඩ පැන්නොත් වැටෙන්නේ බිමට බව. ඔය විදියට කැරැලි ගහලා ජනාධිපතිවරයා පීඩාවට පත්කරන්න එනවා නම් ආණ්ඩු හදන්න අපිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ඉන්නවා. ඒක දැනගෙන ඉන්න කියලා ඔය කැරැලි ගහන මන්ත්‍රිවරුන්ට මම පොඩ්ඩක් මතක් කරනවා.'' යයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.


සබැඳි පුවත් :

එජාප පසුපෙලින් ජනපතිට එරෙහි කැරැල්ලක් !

කැබිනට් සංශෝධනයට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top