Sathosa

May 20, 2017

'අපි හදපු සිංහාසනේ වෙන අය ඔටුනු පැලඳගෙන' - මරික්කාර්

ජනවාරි 8දා එක්සත් ජාතික පක්ෂය සිවිල් සංවිධාන සමග එක්ව ගොඩනැගු ආණ්ඩුව තුල මේ වනවිට වෙනත් පුද්ගලයින් කිරුළු පැළඳ සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

''එක්සත් ජාතික පක්ෂය නැතිනම් මේ ජයග්‍රහණය නැහැයි කියන එක හැමෝම ඔළුවෙ තියාගන්න ඕනෙ. යූඑන්පී එකේ හිටපු අය නෙමෙයි පිට හිටපු අයයි ආණ්ඩුව හදල තියෙන්නෙ කියලා ගොඩක් අය හිතන් ඉන්නෙ. '' යයි ඔහු පවසා ඇත්තේ, සති අන්ත 'සත්හඬ' සමග පැවැත්වූ සම්මුඛ සාකච්ජාවකදී ය.

''ජනවාරි 08 දේශපාලන වෙනසෙදි ගොඩක් අයට අමතක වෙච්ච කාරණා දෙකක් මම මතක් කරන්නම්. එකක් තමයි ඒ සඳහා නායකත්වය සහ බර ඇද්දෙ සිවිල් සංවිධාන එක්ක එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්. ඡන්ද පොළ ආරක්ෂා කිරීමේ ඉඳලා, මැතිවරණ පෝස්ටර ඇලවීමේ ඉඳලා, කැන්වසින් යාමේ ඉඳලා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමේ ඉඳලා, ගුටිකෑවෙ වෙඩි කෑවේ සියල්ල කළේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්. සිවිල් සංවිධාන සහ අනෙත් අයත් උදව් කළා.'' මන්ත්‍රීවරයා සිහිපත් කර සිටියි.

'සත්හඬ' සම්මුඛ සාකච්ජාව පහත පළවේ.

රාජපක්ෂ පාලනය වෙනස් කරන්න:


■ ඔබ දේශපාලනයට ආවෙ කොහොමද?

මම දේශපාලනයට එන්න කලින් මාධ්‍යවල වැඩ කළා. දේශපාලන වැඩසටහන්, මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණ වගේ විෂයන් එක්ක තමයි වැඩ කළේ. අද සමාජයේ අපි පොඩි කාලේ තිබ්බෙ නැති විදියට මුළු රට පුරාම අන්තවාදී, ජාතිවාදී බලවේග රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒක අපේ රටට රටක් විදියට දියුණු වෙන්න තිබෙන ලොකුම බාධාවක්.

මම විශ්වාස කරන දේශපාලන දර්ශනය තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ 28ක් විතර පරාජය වෙලා තියෙනවා. ඒ නිසා මට හිතුණා රාජපක්ෂ පාලනය වෙනස් කරන්න ඕනෙ ජාතිවාදය නැති කරන්න. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය මෙහෙම පරාද වෙන එක ගැන ගැටලුවකුත් තියෙනවා. රට දියණු වෙන්න නම් ඒ මතවාදය ජයග්‍රහණය කරන්න ඕනෙ. ඒ නිසා මම හිතුවා, රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ පළමු සටන කොළඹ දිස්ත්‍රික්කයෙන් පටන් ගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මම දේශපාලනයට ආවේ.

■ ඇයි එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණේ?

මම විශ්වාස කරන දේශපාලන දර්ශනය තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ.

■ ඔබ දේශපාලනය කරන්නේ මහරාජා ආයතනයට ඕන විදියටද?

මම ස්වාධීන චින්තනයක් සහිත පුරවැසියෙක්.

මහරාජා දේශපාලනය :

Sirasa FM Sri Lanka■ මහරාජා ආයතනය සමහර පුද්ගලයන් දේශපාලනයට ගේනවා. ජනප්‍රිය කරනවා. පාර්ලිමේන්තු යවනවා. ඇමැතිකම් දෙනවා. මේක මාධ්‍යයෙන් කරන දේශපාලන ක්‍රියාවලියක් නේද?


මම දේශපාලනයට එන්න ඕන කියන තීරණය මම ගත්තු තීරණයක්. ඔබ කියන කතාව සම්පූර්ණයෙන් වැරදියි. එක්සත් ජාතික පක්ෂයත් ඒ ආයතනයත් එක්ක විශාල අර්බුදයක් තියෙනකොට එහෙනම් මම තරඟ කරන්නෙ නැහැනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක මගේ සම්බන්ධය ඇතිවෙන්නෙ මම මහරාජා ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නත් කලින්.


■ ජනවාරි 08 සිදු කළ දේශපාලන වෙනස ගැන ඔබට මොකද හිතෙන්නෙ?

ජනවාරි 08 වෙනස ගැන පැහැදිලි උත්තර දෙකයි තියෙන්නෙ. ගොඩක් පැතිවලින් හොඳයි. තවත් පැතිවලින් බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට වෙලා නැහැ.

■ ජනවාරි 08 දේශපාලන වෙනස වෙනුවෙන් ඔබ මොනවද කළේ?

ජනවාරි 08 දේශපාලන වෙනසෙදි ගොඩක් අයට අමතක වෙච්ච කාරණා දෙකක් මම මතක් කරන්නම්. එකක් තමයි ඒ සඳහා නායකත්වය සහ බර ඇද්දෙ සිවිල් සංවිධාන එක්ක එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්. ඡන්ද පොළ ආරක්ෂා කිරීමේ ඉඳලා, මැතිවරණ පෝස්ටර ඇලවීමේ ඉඳලා, කැන්වසින් යාමේ ඉඳලා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමේ ඉඳලා, ගුටිකෑවෙ වෙඩි කෑවේ සියල්ල කළේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්. සිවිල් සංවිධාන සහ අනෙත් අයත් උදව් කළා.

එක්සත් ජාතික පක්ෂය නැතිනම් මේ ජයග්‍රහණය නැහැයි කියන එක හැමෝම ඔළුවෙ තියාගන්න ඕනෙ. යූඑන්පී එකේ හිටපු අය නෙමෙයි පිට හිටපු අයයි ආණ්ඩුව හදල තියෙන්නෙ කියලා ගොඩක් අය හිතන් ඉන්නෙ.

දෙවෙන කාරණය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අපි මේ මැතිවරණ ව්‍යාපාරය කරේ තියාගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සීමාවේ මැතිවරණ කොට්ඨාස පහළොවක් තියෙනවා. කොළඹ නගර සීමාවේ පහයි, දෙහිවල ආසනෙයි විතරයි සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය දිනන්නෙ. ඊට කලින් තිබුණ පළාත් සභා මැතිවරණයේ දි වුණත් කොළඹ දිස්ත්‍රික්කය ලක්ෂයකට වැඩි ගාණකින් එක්සත් ජාතික පක්ෂය පරාදයි. එතකොට මේ ජයග්‍රහණය ලබා ගන්න නම් අපි පරදින්නෙ මේ කැලණි මිටියාවත ආශ්‍රිතව තියෙන ආසන ටික.

එතකොට මම පළාත් සභාවේ පළාතෙම පළමු වෙනියා වුණායින් පස්සෙ රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ඉල්ලල ගත්තෙ කොළොන්නාව මට දෙන්න කියලා. එතන හිටියෙ දුමින්ද සිල්වා. කවුරුත් ගන්න බයයි. මම කිව්ව මට දෙන්න මම දිනවන්නම් කියලා. 1989 දි තමයි කොළොන්නාව අවසන් වරට මල්ලිමාරච්චි ඇමැතිතුමාගෙ නායකත්වයෙන් ප්‍රධාන මැතිවරණයක දී ජයග්‍රහණය කරල තිබුණෙ. මේ ආසනයේ ගමක් ගමක් ගානෙ ගිහිල්ල සංවිධානය කරලා අපේ පාක්ෂිකයොත් එක්ක මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දීලා කඩු පාරවල්වලට මුහුණ දීලා, වෙඩි පහරවල්වලට මුහුණ දීලා ජීවිත පරදුවට තියලා දාහත්දහසකින් ජයග්‍රහණය කළා.

■ කොළොන්නාව ආසනය වීරසිංහ මල්ලිමාරච්චි, භාරත ලක්ෂ්මන්, දුමින්ද සිල්වා ආදී දේශපාලකයන් බිහිකරපු තැන. මරික්කාර් මෙතනට වැටෙනවද?


මම දේශපාලනයට ආව අවුරුදු තුනක කාලය තුළ ඇති වෙනස මාධ්‍යවේදියෙක් විදියට ඔබට තේරෙන්න ඕනෙ.


රනිල් පොදු අපේක්ෂකයා නොකළේ ....


■ ඔබ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන් තමයි ජනවාරි 08 ඡන්දෙ දිනෙව්වෙ කියලා. ඉතින් ඔබතුමාල ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා නොකර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා කළේ?

විශාලම බර ඇද්දේ එක්සත් ජාතික පක්ෂයයි. නමුත් ඒ වෙලාවේ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේලා එකතුවෙලා සමාජයේ ලොකු කථිකාවතක් ඇති කළා. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න විපක්ෂයේ සියලුබලවේග එකතු කරන්න ඕනෙ කියලා. ඒකාබද්ධ බලවේගයක් කරද්දි තනි මතයකට වැඩ කරන්න බැහැ.

අපි වැරැද්ද කළේ පොදු අපේක්ෂකයෙක් දැමීමෙන් නෙමෙයි. දින 100යේ ආණ්ඩුවක් පවත්වාගෙන ගිය එක තමයි අපි කරපු ලොකුම වැරැද්ද. ජනවාරි 08 වනදා මැතිවරණ ජයග්‍රහණය කරලා 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් එක්සත් ජාතික පක්ෂයට ආසන 125ක් විතර ගන්න තිබුණා. ඒකයි අපි කරපු ලොකුම වැරැද්ද.

■ ජනවාරි 08 රනිල් වික්‍රමසිංහ මහත්තය ඉල්ලුව නම් මොකද වෙන්නෙ? දිනයිද නැද්ද?

කෙනෙකුට කියන්න පුළුවන් දිනනවා කියලා. කෙනෙකුට කියන්න පුළුවන් පරදිනවා කියලා. නමුත් මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ජනතාවගේ, පාවෙන ඡන්ද දායකයන්ගෙ තිබුණ රෙජීමය පෙරළීමේ වුවමනාව දැක්කහම මට හිතෙනවා සහ මම පුද්ගලිකව විශ්වාස කරනවා දිනන්න තිබුණයි කියලා.

■ ඔබ කිව්වා දින සියයේ වැඩපිළිවෙළට නොගිහින් මහ මැතිවරණයට ගියා නම් එක්සත් ජාතික පක්ෂයට බහුතරය ලැබෙනවා කියලා. එහෙනම් දින සියයේ වැඩපිළිවෙළකට ගියේ ඇයි?


මම පක්ෂයේ ඉහළ මට්ටමේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ අදහස ආවෙ කොහොමද කියලා මම දන්නෙ නැහැ. සමහර විට සිවිල් සංවිධානවල වුවමනාවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, ස්වාධීන කොමිසන් සභාත් ස්ථාපනය කිරීම සඳහාත් තමයි ගියේ. ඒකෙ පාඩුවත් අවසානයේ දී විඳ දරා ගන්න වුණේ එක්සත් ජාතික පක්ෂයට. එහෙම නොගියා නම් අපි ආසන 135ක් ගන්නවා කියන එක පැහැදිලියි. හේතුව විධායක ජනාධිපති පැරැද්දුවා ඒ වටේ හිටිය හොරු කල්ලිය පද්දන්නත් ජනතාව ඊළඟ දවසේ ඡන්දෙ දෙනවා.


ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව:

■ දින සියයේ සිදු වුණු ආන්දෝලනාත්මක සිදු වීම තමයි මහ බැංකු මූල්‍ය ගනුදෙනුව. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

අපේ ආණ්ඩුව පත් වුණේ වංචා, දූෂණ මගඩිවලට විරුද්ධවනෙ. අපි දේශපාලන වේදිකාවල දී ගොඩනඟපු සියලුතර්ක වලංගුයි. අපි කිව්වා නීතියේ අධිපත්‍ය නැති රටක් තිබ්බෙ. අපි නීතියේ ආධිපත්‍ය තියෙන රටක් බවට පත්කරනවා කියලා. නීතියේ marikkarආධිපත්‍ය තියෙනවා කියන්නෙ පරීක්ෂණ සිදු කරන ආයතනවලට පරීක්ෂණ කරගෙන යාමට අවස්ථාව දීමත් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කළහම ඒ පරීක්ෂණවලට අධිකරණය නිත්‍යානුකූල ක්‍රියා කිරීමත්. මහ බැංකුවේ වංචාවක් සිදු වුණාය කියලා චෝදනාවක් තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙනවා. ඒ සිදුකෙරෙන පරීක්ෂණය අධිකරණයේ දී ඔප්පු වුණොත් අපි පිළිගන්න ඕනේ එහෙම වුණා කියලා. එහෙම නොවුණොත් අපිට පිළිගන්න බෑ.

■ දින සියයෙන් පස්සෙ තිබුණ මහ මැතිවරණයේ දී ආසන 135ක් ගන්න බැරි වුණ හේතුවක් විදියට ඔබ දකින්නෙ නැද්ද මේ මහ බැංකු අර්බුදය?


විපක්ෂය විසින් ඕක තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාවිච්චි කරපු ප්‍රධාන තේමාව. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා වෙළෙඳ භාණ්ඩයක් හරි නිෂ්පාදනයක් හරි ප්‍රචාරය කරන්න ඕනෙ. ඒ වගේම දේශපාලනයටත් ප්‍රචාරය අවශ්‍යයයි. ඒ ප්‍රචාරය අපට නෙගෙටිව් වුණා.

■ ඔබට කොහොමද කොළඹ දිස්ත්‍රික්යේ පතාක යෝධයන් ඉද්දි නාමයෝජනා හම්බ වුණේ?

එතකොට මං කොළොන්නාවෙ ආසන සංවිධායක. පළාත් සභාවේ පළාතෙන් පළමු වෙනියා මම. ඉතින් මට නාමයෝජනා හම්බ නොදී කොහොමද? මට වඩා පහළින් හිටපු අයටත් නාම යෝජනා හම්බ වුණා.

■ කොළඹ ලයිස්තුවේ පතාක යෝධයන් ඉද්දි ඔබ කොහොමද ඉදිරියට ආවේ?

අද මහ මැතිවරණයක් තිබ්බ නම් මම ඊටත් වැඩියෙන් ඡන්ද ගන්නවා. හේතුව මම වීක් එන්ඞ්ස් පොලිටික්ස් කරන පාට් ටයිම් පොලිටික්ස් කරන පුද්ගලයෙක් නෙමෙයි. මාධ්‍යයෙන් පොලිටික්ස් කරන පුද්ගලයෙක් නෙමෙයි. මට මාධ්‍යය බෝනස්. මම දන්නවා මේ දේශපාලනය කියන කේක් එකේ තියෙන අයිසින් එක තමයි මාධ්‍යය. කේක් එක තියෙන්නෙ බිම් මට්ටමේ. මම ගමේ ජනතාවත් එක්ක දවස් හතේම දේශපාලනය කරන දවස් හතේම කාර්යාලය විවෘත කරලා තියෙන පුද්ගලයෙක් හැටියට ජනතාවත් එක්ක ඉදීම නිසා තමයි මට ඒ ප්‍රතිඵල ලැබුණේ. ඒ ජයග්‍රහණය කොච්චර අමාරු වුණාද කියලා ඔබට තවදුරටත් පැහැදිලි කරන්නම්.

අපි උදාහරණයකට ගමු කෝට්ටේ ආසනය. පළමු මනාපය දෙන්නෙ නායකතුමාට. දෙවන මනාපය දෙන්නෙ සංවිධායකයට. තුන්වන මනාපය දෙන්න මාව තෝර ගන්නවා නම් අර පතාකයන් අතර මගේ විශේෂත්වයක් ජනතාවට තේරෙනවා. කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් මං ගත්තා ඡන්ද හතළිස් නමදහස් ගාණක්. ජනතාව මං පිළිබඳ විශාල විශ්වාසය තබා තිබුණා. අලුත් ටේ‍රන්ඞ් එකක් හදන්න ඕනෙ. ඒක තුළ මට ලොකු අවස්ථාවක් හම්බ වුණා මගේ බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයට.

එහෙම වුනොත් පඹයෙක් වෙනවා:

acda052f■ ඔබ දැන් කොලොන්නාවෙ මන්ත්‍රී හැටියට පත් වුණානෙ? පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් හැටියට ඔබට මොකද හිතෙන්නෙ?

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු නීත්‍යානුකූලව ලැබුණු දේවල් අරගෙන නිකන් වැඩ කරන්න බලාගෙන හිටියොත් පඹයෙක් වෙනවා. තමන් නිර්මාණශීලී නම් තමන්ට දැක්මක් වැඩපිළිවෙළක් තියෙනව නම් බලධාරීන්ගෙ පස්සෙන් දණගාල බඩගාල ගියොත් වැඩ කරගන්න පුළුවන්. ඒත් හැමදේම කරගන්න බැහැ එහෙම කරගත්තු දේවල් වගේම නොකරගත්ත දේවලුත් තියනව.

■ අපට කොලොන්නාව කිව්වම මතක් වෙන්නෙ වීරසිංහ මල්ලිමාරච්චි, භාරත, දුමින්ද වගේම කුණු සහ කුඩු?


මගේ අත් දෙකයි ඇඟිලි දහයයි, නියපතු දහයයි පිරිසිදුයි. මගේ ගාව කුණුත් නෑ කුඩුත් නෑ. ඒ නිසා ඔබතුමාගෙ ප්‍රශ්නයේ පොඩි කෑල්ලක් නිවැරැදි කරන්න ඕන. භාරත ලක්ෂ්මන්ගෙත් දුමින්ද සිල්වගෙත් තැනට ඇමැති වීරසිංහ මල්ලිමආරච්චි දාපු එක ගැන මම විරුද්ධයි. මොකද මල්ලිමආරච්චි ඇමැතිතුමා ඉන්න කාලෙ තමයි කොලොන්නාවෙ සංවර්ධනය සිද්ධ වුණේ. එතුමාගෙ කාලෙ කොලොන්නාවෙ කුණු තිබ්බෙත් නෑ. කුඩු තිබ්බෙත් නෑ. මල්ලිමආරච්චි ඇමැතිතුමාගෙන් පස්සෙ ආව දේශපාලඥයන්ගේ බලපුළුවන්කාරකම් සහ ඔවුන්ගේ අනුදැනුම යටතේ තමයි කුණු එන්න පටන්ගත්තෙත් කුඩු එන්න පටන්ගත්තෙ.

නමුත් මං මේ වෙලාවෙ පැහැදිලිවම කියන්න ඕන කොලොන්නාවෙ සම්පූර්ණයෙන්ම කුඩු නැතිවෙලා නෑ කියල. යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ සැලකිය යුතු මට්ටමකට මෙය පාලනය වෙලා තියෙනව. මන්ත්‍රීවරයා හැටියට කුඩු සම්බන්ධව ගන්න පුළුවන් හැම උත්සාහයක්ම අරගෙන තියෙනව.

කුණු සම්බන්ධව ඉතා පැහැදිලිවම කියන්න ඕන මේ කුණු කන්ද 2009 දි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටපු කාලෙ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් බලහත්කාරයෙන් ගෙනත් දැම්ම. මේකට විරුද්ධව ජනතාව පෙළපාලි ගියා, උද්ඝෝෂණ කළා. ඒ කාලෙ හිටපු දුමින්ද සිල්වට මේව පෙනුනෙත් නෑ. දැක්කෙත් නෑ. නමුත් මේ සියල්ල සිද්ධ වුණේ දැනුවත්ව. යහපාලන ආණ්ඩුව එනකොට පොරොන්දු වුණා මේ කුණු කන්ද ඉවත් කරන්න අවශ්‍ය පියවර ගන්නව කියල.

2015 මැයි මාසෙ 21 වෙනිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ජනතාවයි මමයි සාකච්ඡා කරල නාගරික සංවර්ධන අධිකාරියට කිව්ව ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළකට යන්න කියල. මේ ටෙන්ඩර් එක දාල 2016 අප්‍රේල් මාසෙ දි මම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා මහනගර සහ මෙගා පොලිස් ඇමැතිතුමා සමඟ. එතෙන්දි මට තේරුණා මේ වැඩපිළිවෙළ කෙරෙන්නෙ නැති බව. ඒ නිසා නැවත වතාවක් මම පළාත් පාලන ඇමැතිතුමාගෙන් ප්‍රශ්න කළා. එතුමා කියනව එතුමාගෙ විෂය පථයට මේක අයිති නෑ කියල. නැවත වතාවක් ජූලි මාසෙ 20 වෙනිද කොළඹ මහ නගර සභාවට ලිඛිතව දැනුම්දීමක් කළා මේකෙ තියන බරපතළකම. ඒ අනුව අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්න කොළඹ නගර සභාවට මේක වෙනත් ස්ථානයකට ගෙනියන්න කියල. එයාල මේකට වෙනත් ස්ථානයක් හොයා ගත්ත. මධ්‍යම පරිසර අධිකාරිය ඒකට විරුද්ධ වුණා. කොළොන්නාවෙ ජනතාව විඳින දුක ගැන අවබෝධයක් නැතිව මේකට අනුමැතිය දුන්නෙ නැහැ.

මධ්‍යම පරිසර අධිකාරියට අනුමැතිය ගන්න දෙසැම්බර් 08 වෙනිදා පාර්ලිමේන්තුවේ දි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කළා. ඒත් මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය ලැබුණෙ නැහැ. ඊට පස්සෙ ජනාධිපතිතුමාගෙ නියෝගය පරිදි ජනවාරි 21 අනුමැතිය දුන්න. ඒ දුන්නු අනුමැතියවත් මේ කොළඹ මහනගර සභාවට ක්‍රියාත්මක කරන්න බැරි වුණා.

ඒ බැරි තැන තමයි මාර්තු මාසෙ 06 වෙනිද ලෝ ලෙවල් පාර වහල ජනතාවත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණය කළේ. මාරාන්තික උපවාසයකට යන්න තීරණය කරද්දි තමයි පළාත් පාලන ඇමැතිතුමා ඇවිත් පොරොන්දුවක් දුන්න ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරල තීරණයක් ගන්නව කියල. ඒ පොරොන්දුව පිට අපි අපේ අරගලය නැවැත්තුවෙ.

පැහැදිලිව කියන්න ඕන මේ කුණුකන්දට; ගිය ආණ්ඩුවත්, මේ ආණ්ඩුවත් වගකියන්න ඕන. මමත් වගකියන්න ඕන මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට.


අත යටින් ලැබෙන මිලියන ගානක් :
z p07 no int

■ ඔබ කීව මෙගා පොලීසියට, නගර සභාවට සහ පළාත් සභාවට විවිධ ආකාරයෙන් ව්‍යාපෘති ඇවිත් තිබුණ. ඔබත් ගෙනත් තිබුණ පුද්ගලයෙක් මේක නිරාකරණය කරන්න. ඒත් මේ කිසි දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ?


ඉතා පැහැදිලිවම මම පුද්ගලයෙක් ගෙනාවෙ නැහැ. මේ සම්බන්ධව මම උනන්දු නිසා බොහෝ පුද්ගලයන් මට කතා කරනව. මේකෙ දි මම අධිකාරී බලයක් සහිත ඇමැතිවරය නෙමෙයි. මට කැබිනට් පත්‍රිකාවක්වත් දාන්න බැහැ. මේකට අදාළ ආයතනය තමයි මහනගර අමාත්‍යාංශය යටතේ තියන නාගරික සංවර්ධන අධිකාරිය. නමුත් මම මෙතනදි කියනව රජයේ ආයතනවල නිලධාරීන්ගේ සහ නායකාකාරධිකාරීන්ගේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයත්, කොළඹ මහනගර සභාවෙ ඇතැම් අයට අත යටින් ලැබෙන මිලියන ගාණක මුදල් කන්දරාවත් නිසා තමයි මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද.

■ අද වන විට මේ කුණු කන්දෙ තත්ත්වෙ මොකක්ද?


ඉස්සර කියපු දේවල් ඇහුව නම් අද මේ දේ නොවෙන්න තිබුණ කියල දැන් මේ අය දන්නව. අපි දැන් ජීවිත 33කින් වන්දි ගෙවල ඉන්නෙ. දැන් මීතොට මුල්ලට කුණු ගේන්නෙ නැහැ. මේ කුණු කන්ද නැවත කඩන් වැටීමේ අවදානමක් තිබ්බ. ඒක මඟ හැරීමේ වැඩසටහනක් යනව. මේ කුණු කන්ද තියෙන භූමිය කුණු දැමිය යුතු තැනක් නෙවෙයි කියල. මේක ආර්ථික මර්මස්ථානයක් විය යුතු තැනක්. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේ මේ කුණු කන්ද ප්‍රතිචක්‍රීයකරණය කරල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරල දෙන්න කියල. ආයෝජකයන්ට ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවන්න කොළඹ අවට මෙතරම් විශාල භූමියක් හොයාගන්න කොහෙත්ම නැහැ. ඒ නිසා රටේ ආර්ථිකයට උර දෙන තැනක් බවට පත්කරන්න කියල තමයි අපේ ඉල්ලීම.

■ කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් ජනතාවට ලබා දෙන සහනාධාර ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?


මම ඉතාම පැහැදිලිව කියනවා කුණු කන්ද කඩා වැටීම මගේ සටනෙ අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණය කරන්න බැරි වුණත් අපි යම්කිසි ජයග්‍රහණයක් ලැබුවා. අපි ජනතාවට ගෙවල් අරන් දුන්න, අවශ්‍ය කරන මුදල් ලබා දුන්න ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි කුලියට හිටපු අයටත් සල්ලි අරන් දුන්න. මිය ගිය අය සම්බන්ධව ලක්ෂ 10ක වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරල තියෙනව. අපි සති දෙකෙන් දෙකට ජනාධිපතිවරයාත් එක්ක ආපදා කළමනාකරණ පිළිබඳ සාකච්ඡා කරනව. දැනට ඒ වැඩකටයුතු ටික කරන්න ඕන ආකාරයට සිද්ධ වෙනව.

අගෝස්තු 21 වෙනිදට බලමු :
marikkr

■ ඔබ පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩුවේ ගමන් මඟ ගැන සන්තෝෂයිද?


මේ ආණ්ඩුවේ ගමන් මඟ සම්බන්ධව 100% ක් තෘප්තිමත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු ආණ්ඩුවක අපි ගිහිල්ල වාඩි වෙලා ඉන්නව වගේ දෙයක් තමා අපිට වෙලා තියෙන්නෙ. ඒ පිළිබඳ තියෙන්නෙ පුදුම කලකිරීමක්. අපි හදපු සිංහාසනේ වෙන කෙනෙක් ඔටුණු පැළඳගෙන ඉන්නවා වගේ වැඩක් වෙලා තියෙන්නෙ. අගෝස්තු 21 වෙනිදට අවුරුදු දෙක ඉවර වුණාම බලමු මොකද වෙන්නෙ කියල.

■ මේ වගේම කලකිරුණු වෙනත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් මේ ගැන කතා කළාම ඊට විරුද්ධව ඔබ කතා කළා? මොකක්ද මේ ගැන කියන්නෙ?


ඊට විරුද්ධව මම කතා කළේ නැහැ. එතුමා පහුගිය පළාත් සභා මැතිවරණ කාලෙ පක්ෂයට වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එතුමා අගමැතිතුමත් එක්කත් යම්කිසි ආරවුල් ඇතිකර ගත්ත. නමුත් කොළොන්නාව ආසනය දිනවන්න මට පුළුවන් වුණා. නමුත් එතුමට කඩුවෙල සංවිධායක කම ලැබුණා. වෘත්තීය සමිති සභාපතිකම ලැබුණා. රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික ධුරයක් හම්බ වුණා. නායක තුමා කිව්වෙ ආසන ධුර දෙන්නෙ නැහැයි කියල. මම කොළඹ දිස්ත්‍රික්කයෙ ආසන දෙකම දිනාගත්ත නවකයන්ගෙන් වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගත්තා. අඩුම තරමේ මට දිස්ත්‍රික් සභාපතිකමවත් දුන්නෙ නැහැ. එහෙම කියල අපි නහයෙන් ඇඬුවෙ නැහැ. අපේ අරමුණු වෙන්න ඕන තනතුරු නෙමෙයි. අපි ආණ්ඩුව පූර්ණ ආණ්ඩුවක් කළ යුතුයි. ඒ සඳහා අපේ පක්ෂය ශක්තිමත් කරන්න ඕන. අඩුම තරමේ අපිට යූඑන්පී ජනතාවට මේ ආණ්ඩුවෙන් රස්සාවක්වත් දීගන්න පුළුවන්කමක් වෙලා නැහැ. මෙවැනි ප්‍රශ්න විසඳාගත යුතුයි.

■ කැබිනට් සංශෝධනයක් ගැන රාවයක් යනවා මේ ගැන ඔබගෙ අදහස මොකක්ද?

මට ඔය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ.


■ සමාජ ජාල හරහා රටේ මුස්ලිම් ආධිපත්‍යයක් පැතිරිලා යනවයි කියල ප්‍රසිද්ධියට පත්වෙනවා. මුස්ලිම් මන්ත්‍රීවරයෙක් විදියට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?


ඔබේ ප්‍රශ්නය සම්පූර්ණ වැරැදියි මම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් නෙමේ. මම ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙක්. මුස්ලිම් ආගම අදහන ශ්‍රී ලාංකිකයෙක්. මුස්ලිම් හෝ වෙනයම් ආක්‍රමණයක් මෙරටට එනවනම් මම ඊට විරුද්ධයි. මේව ආණ්ඩුවේ දුර්වල නිසා සිදුවෙන දේශපාලන කුමන්ත්‍රණ. ආණ්ඩුව මෙයට නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මේ තත්ත්වය උඩු දුවනව කියල කියන්න පුළුවන්.

යුද්ධය ඉවර කිරීමේ ගෞරවය :
6852532061 cc698974c3 m

■ දැන් අවුරුදු 08 වෙනවා මේ තිස් අවුරුදු යුද්ධය ඉවර කරලා. ඒක වෙල්ලමුල්ලිවෛයිකාල්වලත් සමරනව. කොළඹත් සමරනව. මේ ගැන ඔබට තියෙන අදහස මොකක්ද?


යුද්ධය කියන්නෙ දවසෙන් අවුරුද්දෙන් ඉවර කරපු දෙයක් නෙමෙයි. යුද්ධය ඉවර කිරීමේ ගෞරවය පෙර හිටපු නායකයන්ටත් හිමිවෙන්න ඕන. මම දැඩි රාජපක්ෂ විරෝධියෙක් වුණත් යුද්ධය අවසන් කිරීමේ දැඩි දේශපාලන තීරණය ගැනීම වෙනුවෙන් එතුමාට ගෞරව කරනවා. ඒ වගේම මේක එතුමා තනියම කරපු දෙයක් නෙමෙයි. මේ ඔක්කොටම වඩා සියලුම රණවිරුවන්ට මගේ ගෞරවය හිමිවෙනවා.

■ ඔබ අනාගතයේ දරන්න කැමැති ඇමැතිකම මොකක්ද?


ඕනම ක්ෂේත්‍රයක වැඩකරන කොට ඉලක්ක තියාගන්න පුළුවන්. මම මහරාජා සමාගමේ ඉලක්ක තියාගෙන වැඩ කරලා ඒ හැම ඉලක්කයක්ම ජයග්‍රහණය කළා. මම මහරාජා සමාගමේ වසරේ දක්ෂතම විධායක නිලධාරියා වුණා. දේශපාලනයේ දී එහෙම හීන තියාගන්නත් බැහැ. තියාගත්තත් ඒව ඉෂ්ට වෙන්නෙත් නැහැ. දේශපාලනය කියන්නේ ඉවසීමේ ක්‍රීඩාවක්.

■ මේ අවුරුදු දෙක ගැන ඔබට සතුටුයිද දැන්?


කොලොන්නාවට මම කරන වැඩසටහන සම්බන්ධව, මට අගමැතිතුමා ප්‍රමුඛ රජයෙන් ලැබෙන උදව් පිළිබඳව 100% නොවුණත් සෑහෙන මට්ටමකින් සතුටුයි. කුණුකන්ද කඩා වැටීම පිළිබඳව මට විශාල කනගාටුවක් තරහක් තියෙනවා. මේ බාග ආණ්ඩුවේ කකුළෙන් ඇද්ද නිසා රටේ සංවර්ධනය අපේක්ෂිත මට්ටමට ගෙනයාමට බැරිවීම ගැන කනගාටුවක් තියෙනව. යූඑන්පීකාරයන්ට සාධාරණය ඉටුනොවීම ගැන බරපතළ කනගාටුවක් තියෙනවා.

■ ඔබ අපේ කෙනෙක් කියල තමයි කැම්පේන් එක කරන්නෙ. කොළොන්නාවෙ ජනතාවට ඔබ අපේ කෙනෙක් කියල දැනෙනවද?


අනිවාර්යෙන්ම. කොලොන්නාවට විතරක් නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයෙ ඉන්න සිංහල බහුතරයටත් මම අපේ කෙනෙක්.

■ 2020 ගැන ගොඩක් අය සිහින මවනවා. 2020 මේ රටේ කවුරු නායකය වෙයිද?

ඒ ගැන හිතන්න කලින් අපි දීපු පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. රටේ ආර්ථික වර්ධනය යහපත් කරන්න ඕන. රට දියුණු කරන විදියක් ගැන හිතන්න ඕන.


(සංවාදය - ශාන්ත බණ්ඩාර ජයවර්ධන
සටහන - තමාරා පතිරණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top