May 23, 2017

ඇමති මාරුවට පෙර රෝස්වුඩ් දැව තොගය විකුණලා Featured

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයන කර තිබියදී ශ්‍රී ලංකා වරාය රේගුව භරයේ පැවති රෝස් දැව තොගයක් වෙන්දේසි කිරීම සඳහා සිදු කළ ටෙන්ඩර් කැඳවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් කෝටි 100කට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තිබූ එම රෝස්වුඩ් දැව තොගය කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50ක් වැනි අඩු මුදලකට රහසේ විකුණා දමා ඇතැයි රේගු නිලධාරීහු සඳහන් කරති.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙම දැව කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 25 – 75 ත් අතර මුදලකට අලෙවි වන බවද එම පිරිස් පෙන්වා දෙති.

මෙට්‍රික් ටොන් 420 ක බරින් යුත් මෙම දැව තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට මීට පෙර උත්සාහ කළද, ටෙන්ඩර පනතට ආපසු නොගෙන රුපියල් කෝටියක මුදලක් තැන්පත් කළ යුතු බවට නීතියක් පැනවීම නිසා එය නිසි ලෙස සිදු නොවූ බවද රේගු නිලධාරීහු සඳහන් කරති.

ඇමතිගේ හිතවතකුට :

මේ ආකාරයට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම කඩාකප්පල් කර සාමාන්‍ය රේගු ක්‍රමයට අනුව ප්‍රසිද්ධ දැන්වීම් තුළින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ නොකර අදාළ දැව තොගය අමාත්‍යවරයෙකුගේ හිතවත් පුද්ගලයෙකුට කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50කට විකුණා දමා තිබෙන බවද රේගු නිලධාරීහු කියා සිටිති.

ඇමති මාරුවට දින තුනකට පෙර මෙම කටයුත්ත සිදුකර තිබෙන බව රේගු නිලධාරීහු කියා සිටිති.

rosewood

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top