May 29, 2017

'විනාශ වූ සහතික සහ නිල ඇඳුම් නොමිලේ' - අධ්‍යාපන ඇමති

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින්ගේ ජීවිත නඟා සිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ආණ්ඩුව පවසයි.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පාසල් දරුවන්ට විශේෂ සහනයක් සැලසීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

ඔහු කියා සිටියේ විපතට පත් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් නොමිලේ ලබා දෙන බවයි. ඒ සඳහා අවශ්‍ය රෙදි ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

ඒ වගේම ආපදාවන් නිසා විභාග සහතික විනාශ වූ අයට නොමිලේ සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

නායයාම් සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල පාසල් අද දිනයේ විවෘත කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

 

විදුලිය කඩිනමින් :

මේ අතර බිඳ වැටී ඇති විදුලි පද්ධති යළි සකස් කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇතැයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

ගංවතුරත් සමඟ මතුවිය හැකි වසංගත රෝග තත්වයන් පාලනය කිරීමට හා ජනතාවගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසිය.

විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් කැමැත්ත පල කර ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපතට පත් ජනතාව වෙන සහන සැලසීම සඳහා අඛණ්ඩව මුදල් ලබාදෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top