Jun 01, 2017

කඹ ඇඳිල්ලෙන් ගුරුවරු, සිසුන් දැඩි අපහසුතාවකට !

ගංවතුර නිවාඩුව සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශයේ හා බස්නාහිර පළාත් සභාවේ කඹ ඇඳිල්ලෙන් ගුරුවරු, සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියක දැක්වේ.

මෙවන් ජාතික ආපදා අවස්ථාවකදී වගකිව යුත්තන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් ගුරුවරු සහ පාසල් දරුවන් පීඩාවට පත්කිරීම වැලැක්වීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා වෙත යොමුකළ එම ලිපියේ පිටපත් මාධ්‍ය ආයතනවලටද යොමුකර ඇති අතර එහි මෙසේ සඳහන්වේ.

පරස්පර ප්‍රකාශ :

රට පුරා දිස්ත්‍රීක්ක ගණනාවක පවතින ගංවතුර, නායයෑම් ආදී ස්වාභාවික හදිසි ආපදා තත්වය මත කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රීක්ක 8 ක සියලූ පාසල් 2017.06.02 දින දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන ලදී.

එසේ තිබියදී බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා ජනමාධ්‍ය ඔස්සේ 2017.05.31 දින රාත්‍රීයේ ප්‍රකාශ කරන ලද්දේ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රීක්කවල පාසල් 2017.06.01 දින සිට විවෘත කරන බවයි.

එදිනම රේඛීය අමාත්‍යාංශය පවසා සිටියේ බස්නාහිර පළාතට එවැනි තීරණ ගත නොහැකි බවත්, පෙර තීරණය පරිදි ඉහත දිස්ත්‍රීක්ක අටේම පාසල් වසා තැබෙන බවත්ය.

මේ සම්බන්ධයෙක් පරස්පර ප්‍රකාශ 2017.06.01 දින පුවත්පත්වල ද පළ වී ඇත.

විදුහල්පතිවරුන්ට බලපෑම් :

මෙම කඹ ඇදිල්ල තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රීක්වල ගුරුවරු, සිසුන් හා දෙම්පියන් ද බරපතල ගැටළුකාරී තත්වයකට මුහුණු දුන් අතර, සමහර කලාප අධ්‍යාපන කාර්යාල කොට්ඨාස අධ්‍යක්ෂවරුන් යොදවා දුරකතන ඇමතුම් ලබාදෙමින් 2017.06.01 දින පාසල් විවෘතකරන ලෙස විදුහල්පතිවරුන්ට බලකරමින් සිටී.

ජාතික ආපදාවකදී පළාත් සභාව සහ රේඛීය අමාත්‍යාංශය කඹ ඇඳීම තුළ පැහැදිලි වන්නේ ආපදාව සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවයි.

බොහෝ අවස්ථාවල අධ්‍යාපන කටයුතුවලදී රේඛීය අමාත්‍යාංශයේ පියවරයන් නොසලකා හැර පළාත් සභා විසින් කටයුතු කිරීම දිගින් දිගටම සිදු වේ.

අත්තනෝමතික ක්‍රියා :

මෙවැනි ජාතික ආපදා තත්වයකදී පවා ගුරුවරු, දරුවන් සහ දෙමාපියන් අපහසුවට පත් කරමින් රේඛීය අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාව විසින් සිදු කරමින් සිටින කඹ ඇදිල්ලෙන් අද දිනයේ ගුරුවරු හා පාසල් දරුවන් දැඩි පීඩනයකට ලක් වූ අතර, අධ්‍යාපන බලධාරීන්ගේ බලකිරීම හේතුවෙන් සමහර පාසල්වල ගුරුවරු පාසල්වලට පැමිණීම ද සිදු විය.

මේ පිළිබඳව අවධානය යොමු කර ඇති වී තිබූ මෙම තත්වය පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, මෙවන් ජාතික ආපදා අවස්ථාවකදී වගකිව යුත්තන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් ගුරුවරු සහ පාසල් දරුවන් පීඩාවට පත්කිරීම වැලැක්වීමට කටයුතු කරන මෙන් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top