''මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු'' ''මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු''
Jun 02, 2017

'දක්‍ෂිණ අධිවේගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා නෑ' - ඩිලාන්

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පරිසර වාර්තා සලකා බැලුවේ නම් මෙවැනි ගංවතුර තත්ත්වයක්‌ ඇති නොවන්නට ඉඩ තිබූ බව මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තමන් පසුගිය රජයේ ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ බව පිළිගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

''රටකට අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර වාර්තාත් සැලකිය යුතුයි'' යයි පැවසු ඩිලාන් පෙරේරා මහතා, ඉදිරියේදී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගෙන ඉදිකිරීම් කළ යුතු යෑයි ද අවධාරණය කළේය.

මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීය.

ව්‍යසනය අත්දැකීමක් කරගමු

මේ ව්‍යසනය අත්දැකීමක් කරගෙන අනාගතයට මුහුණ දෙමු යයි පැවසු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා,
ස්වභාවික ව්‍යසනයකදී හා ඊට පෙරත් පසුවත් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සිතා බැලීමට රජයට අවස්ථාවක් උදා වී ඇතැයි ද එම මාධ්‍ය හමුවේදී පැවසීය.

අනාගතයේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් මතු වුව හොත් ඊට මුහුණ දීම සඳහා සැලැස්මක් සැකසීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා බංග්ලාදේශය වැනි රට වලින් ආදර්ශ ලබා ගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top