Sathosa

Jun 06, 2017

''සතොසේ බාස්‌මති හාල්වල ප්ලාස්ටික් නැහැ ''

සතොස මගින් අලෙවි කෙරෙන ආනයනික බාස්‌මති සහල්වල කිසිදු ආකාරයක ප්ලාස්‌ටික්‌ අංශු මාත්‍රයක්‌ හෝ අන්තර්ගතව නැති බවට සහල් ආහාර තාක්‍ෂණවේදියකු සිදුකළ පරීක්‍ෂණයකදී අනාවරණය වූ බව සතොස සභාපති ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා පැවසීය.

ආනයනික බාස්‌මති සහල් පරිභෝජනයට නුසුදුසු බවට සමාජශාලා වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ (05 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සඳහන් කළේය.

පාකිස්‌තානයෙන් ආනයනය කරනු ලබන මෙම බාස්‌මති සහල් තවදුරටත් පරීක්‍ෂා කිරීම සඳහා බොරැල්ල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාරදුන් බව ද, එම වාර්තාව සති දෙකක්‌ ඇතුළත ලබාගත හැකි බව ද හෙතෙම කීවේය.

සතොසේ කීර්තිනාමයට හානි කිරීමට:

සතොස මගින් අලෙවි කරනු ලබන බාස්‌මති සහල් ප්ලාස්‌ටික්‌ සහල් ලෙස ඇතැමුන් වැරදි මතයක්‌ සමාජය තුළ ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව ද, මෙය සතොසේ කීර්තිනාමයට හානි කිරීමට කිසියම් පිරිසක්‌ ගන්නා උත්සාහයක්‌ පමණක්‌ යෑයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම වසරේ මැයි මස 15 වැනිදා පාකිස්‌තානයෙන් බාස්‌මති සහල් මෙට්‍රික්‌ ටොන් 20 ක්‌ ආනයනය කළ බව ද, මේ වන විට සතොස ගබඩා තුළ එම සහල් මෙට්‍රික්‌ ටොන් 4 ක්‌ ඉතිරිව තිබෙන බව ද ඔහු කීවේය.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාව ලැබෙන තුරු ඉතිරිව ඇති සහල් අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව කී සභාපතිවරයා සමාජය තුළ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව ඉන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ද පැවසීය.

එසේම මෙම සහල් ආනයනය කිරීමේදී රේගුව ද නිසි ක්‍රමවේදයට අනුව පරීක්‍ෂාවට ලක්‌ කරන බව ද, වෙනත් සහල් වර්ගවලට වඩා මෙම සහල් වර්ගය පිසීමේදී බෙරි ගතියෙන් තරමක්‌ වැඩි බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවද සහල් කල් තබා ගැනීම සඳහා ප්ලාස්ටික් එක්කරන බව දැක්වෙන වීඩියෝවක් මේදිනවල සමාජ වෙබ් ජාලයන්හි සංසරණය වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top