Jun 06, 2017

'ප්ලාස්ටික් සහල් සහනාධාර ලෙස බෙදාදුන් කතාව බොරු'

''නියං සහනාධාර ලෙස බෙදා දුන්නේ ප්ලාස්ටික් සහල් නොවෙයි. විදෙස් රටවලින් ලැබෙන සියලුම ආහාරමය සහනාධාර ජනතාව අතර බෙදා දෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව'' යැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සභාපති චමින්ද පතිරාජ මහතා පවසයි.

''පාකිස්තානු රජයේ ආධාරයක් ලෙස මෙරටට ලැබුණු මෙට්‍රික් ටොන් දසදහසක සහල් තොගයක් ඉකුත් දා නියඟයෙන් පීඩාවට පත්ව ඇති කුරුණෑගල, අනුරාධපුර, මොනරාගල සහ පුත්තලම යන ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක තෝරා ගත් සෑම කම්කරු පවුලක් සඳහාම සහල් කිලෝග්‍රෑම් පනහක් දුන්නා'' යයි ඔහු කියා සිටියේ, මෙසේ ලබාදුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි සහ සහල් ලැබුණු ඇතැම් පාර්ශ්වයන්ගෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

රබර් බෝලයක් මෙන්ම ඝන බවට :

මේ සහල් පිසීමෙන් පසු ඇලෙන ස්වභාවයකින් යුක්ත අතර බත් පිඬක් ගෙන ගුළි කිරීමෙන් පසු රබර් බෝලයක් මෙන්ම ඝන බවට පත්වන බැව් ඇතැම් පිරිස් පවසති.

තවද මේ සහල්වල කාලය ඉකුත් වන දිනය 2019 වර්ෂයේ බවට සඳහන් වීමෙන් එතරම් කාලයක් සහල් කල් තබා ගැනීමට හැකිවීම ගැනද සැක සහ ප්‍රශ්න මතුවී තිබේ.

කෙසේ වෙතත් මෙම සහල් පිළිබඳව පැන නැඟ තිබෙන ආන්දෝලනාත්මක මතවාදයන්ගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සභාපති චමින්ද පතිරාජ මහතාගෙන් වැඩිදුර කළ විමසීමේදී පැවැසුවේ විදෙස් රටවල්වලින් ආධාර වශයෙන් ලබාදෙන කිසිවක් පූර්ණ අධීක්ෂණයට ලක් නොකර ජනතාවට බෙදා නොදෙන බවයි.

කෙසේ වෙතත් පාකිස්තාන සහල් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට කිසිම පාර්ශ්වයක් තමන්ට දැනුම් නොදුන් බවත් නමුත් සමාජ ජාල වෙබ් අඩවිවලින් විවිධ අදහස් පළවීමත් සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් මෙම සහල් නැවත පරීක්ෂාවට ලක් කළ බවත් ඔහු කියා සිටියේය.

එහිදී ලැබුණු වාර්තා අනුව සහල්වල ප්‍රමිතිය සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බැව් තහවුරු වී ඇති බවද ඔහු කීවේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top