Sathosa

Jun 08, 2017

''යුද්ධය අවසන් වූ පසු පුරාවිද්‍යා භූමි විනාශ කරලා'' - අකිල

පුරා විද්‍යා ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු හේතුවෙන් සිංහල දෙමළ මුස්ලිම් සංහිඳියාවට පවා බාධා වී ඇති බවත් අද එය වාර්ගික ගැටුම් බවට හුවා දක්වන අවාසනාවන්ත මට්ටම දක්වාද ඔඩු දුවා අවසන් බවත් අධ්‍යාපන සහ සංස්කෘතික ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.

පසුගිය දින කිහිපයේ මාධ්‍ය විසින් නගන ලද අවලාද වලට ද පිළිතුරු දෙමින් අමාත්‍ය අකිල විරාජ් මහතා අවසානයේ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මහජන නියෝජිතයින්ට එල්ලවන පදනම් විරහිත අභූත චෝදනාවන් සම්බන්ධයෙන් විභාග කිරීමේ සාධාරණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

'' රටක අභිමානය හා ජාතික අනන්‍යතාව ලොවට කියා පෑමට ඇති ප්‍රබලතම  සාධක බවට පත්වන්නේ ඒ රට තුළ නිධානව ඇති පුරාවිද්‍යා සාධක බව මා අමුතුවෙන් මේ සභාවට මතක් කර දිය යුතු නැහැ.

වසර දෙදහස් පන්සියයක් පමණක් නොව වසර හතළිස් අටදහසක් (48,000) - හැටදහසක් (60,000) දක්වා ඈත ඉතිහාසයකට දිව යන අපේ මව්බිමේ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනාවරණය කිරීම, අධ්‍යයනය කිරීම, දැනුම හුවමාරු කිරීම, සංරක්ෂණය හා සුරක්ෂිත කිරීම මෙන් ම මෙරට අතීත ශ්‍රී විභූතිය ලොවට ම ප්‍රදර්ශනය කිරීමට අපි ක්‍රියා කළ යුතුයි.

විවිධ කාල වකවානුවල මෙරට ආක්‍රමණය කළ ආක්‍රමණිකයන් අතීතයේ පැවති ශ්‍රී විභූතිය විදහා පාන පුරා වස්තු සංහාරය ලක් කරමින් මෙරට ඉතිහාසය මකා දැමීමට උත්සාහ කළ අවස්ථා තිබුණා.

AkilaVirajK 670px 17 01 13
''මා, මේ රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ නොතබන බව මේ සභාවට මතක් කර දිය යුතුයි..''

රජයක් ලෙසත් විෂයභාර අමාත්‍යවරයා ලෙසත් සියලු ජාතීන්ගේ අනන්‍යතාවය ගරු කරන සංහිඳීයාව, සහජීවනය පිළිගන්නා සිංහල බෞද්ධයකු ලෙසත් කිසි විටක මා, මේ රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ නොතබන බව මේ සභාවට මතක් කර දිය යුතුයි.

යෝධ වාරිමාර්ග ව්‍යාපෘති, ගොඩනැගිලි, වාස්තුවිද්‍යාවේ කෙළ පැමිණි, වටදාගෙවල්, වෙහෙර විහාර, සත්මහල් ප්‍රාසාද, ලෝවාමහාපාය, පිරමිඩ තාක්ෂණය හා උරෙනුර ගැටුණු  මහා දාගැබ්, චිත්‍ර මූර්ති කැටයම්, සීගිරිය වැනි කලා නිර්මාණ, මහා නගර සැලසුම් වැනි අතීත උරුමයන් අපගේ හදවත් තුළ අභිමානය හා ප්‍රෞඩත්වය නැවත නැවතත් ජනිත කරවීමට සමත්.

col5 another kutiya141121720 3971478 26012016 fid cmy

''LTTE ත්‍රස්තවාදීන් පවා විනාශ නොකළ පුරාවිද්‍යා භූමි, දාගැබ්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු විනාශ කරලා''

නමුත්, ගෙවී ගිය දශක තුන තුළ පැවති යුද්ධය හේතුවෙන් අදාල ප්‍රදේශවල පුරා විද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේදී ගැටළු මතුවූ බව අප පිළිගත යුතුයි.

නමුත් යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇති මේ මොහොත වන තුරු උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා භූමි සුරක්ෂිත කිරීමේ කටයුතු මන්දගාමී වීම තුළ ගැටළු රැසක් ඇති වී තිබෙනවා. මෙය බරපතල තත්වයක්.

ඇතැම්විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විනාශ නොකළ ඇතැම් පුරාවිද්‍යා භූමි, දාගැබ්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු පසුගිය වසර කිහිපය තුළ නිධන් හොරුන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ බලපෑමෙන් විනාශ වී ගිය බව රහසක් නොවේ.

ලෝක උරුමයන් සමග අත්තනෝමතික ලෙස  සෙල්ලම් කිරීම:

පසුගිය පාලන සමය තුළ උතුර හා නැගෙනහිර ඇතුළු පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ ප්‍රදේශ නිසි අයුරින් හඳුනාගැනීමට හෝ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු වුණේ නැහැ.

එමෙන් ම විවිධ පුද්ගලයන් තමන්ට අභිමත පරිදි ලෝක උරුමයන් සමග අත්තනෝමතික ලෙස  සෙල්ලම් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති බව අපට අදවන විට ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා.

ගාලු කොටු පවුර ද දඹුලු ලෙන් විහාර ඇතුළු ලෝක උරුමයන් වගේම තවත් වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් අද වන විට අතීතයේ සිදුවූ විවිධ දේශපාලන අතපෙවීම් සහ ඊට එරෙහිව නැගී නොසිටි අකාර්යක්ෂම නිලධාරීන් නිසා විනාශවීමේ අවධානමට ලක් වී තිබෙනවා.

අතලොස්සක් අන්තවාදීන්ගේ බලපෑම්:

එවගේම මේ වන විට මෙරට ජනතාවගේ සහජීවනය හා සංහිඳියාව බිඳදමන උතුර සහ නැගෙනහිර වෙසෙන අතලොස්සක් අන්තවාදීන්ගේ බලපෑම්ද මේ පුරාවස්තු  විනාශයට බල පා තිබෙනවා. ඇතැම් විට මේ තත්ත්වය වාර්ගික ගැටුම් බවට හුවා දක්වන අවාසනාවන්ත මට්ටම දක්වාද ඔඩු දුවා අවසන්.

සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාවට අභියෝග කරමින් ඇතැම් පිරිස් පුරාවිද්‍යා භූමි තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, පුරාවස්තු විනාශ කර දැමීම ආදී සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

තත්ත්වය මේ දක්වා දුර දිග ගියේ කොහොමද? දුර දිග ගියේ ඇයි? යන ප්‍රශ්නවලට වහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය විෂයභාර අමාත්‍යවරයා ලෙස මටත් අපගේ අමාත්‍යාංශයටත් තිබෙනවා. එය ජනතාව මා හට පවරා දුන් වගකීමයි.

ප්‍රකාශයට බලපෑ ප්‍රධාන කරුණු ?

මේ ප්‍රකාශය කිරීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපය මා අවධාරණය කිරීමට කැමතියි.

පළමු වැන්න:

2004 වසරේ සිට මේ දක්වා වසර 13 ක් තිස්සේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට කැබනට් මණ්ඩලය තීරණය කිරීම.

දෙවැන්න:

ඔහුට අදාළ චෝදනා පත්‍රය බාර දුන් පසු ඇතැම් පුවත්පත් සහ සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කර තිබූ අසත්‍ය කරුණු ඇතුළත් අපහාසාත්මක ප්‍රවෘත්ති වාර්තා

තුන්වැන්න :

මේ රටේ පුරා විද්‍යාව සම්බන්ධව සිදුවන යමක් වේ නම් ඒ සියල්ල මේ රටේ රටට ආදරය කරන අප ගැන විශ්වාසය තැබූ ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම

මේ නිසයි ඉහත ප්‍රවේශය ලබා ගනිමින් විශේෂ ප්‍රකාශය නිකුත් කිරීමට මා තීරණය කලේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කලේ ඇයි ?

D G Senarathdi

සෙනරත් දිසානායක මහතාට චෝදනා 12 ක් ඇතුළත් චෝදනා පත්‍රයක්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ ආචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ මූලිකව ම බල පෑ කරුණු මා මේ සභාවට ඉදිරිපත් කිරීමට කැමතියි.

2010 – 2012 වසර වල දී මධ්‍යම පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රසම්පාදන කටයුතුවලදී සිදුව ඇති බවට වාර්තා වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශ යටතේ  පසුගිය පාලන සමයේ දී පවත්වන ලද  මූලික විමර්ශනයක දී ආචාර්ය සෙනරත් දිසානායක මහතාට චෝදනා 12 ක් ඇතුළත් චෝදනා පත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර  තිබෙනවා.

මෙම  ඉදිරිපත් කර ඇති චෝදනා අතර විධිමත් පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු නොකිරීම, විෂමාචාර සිදුකරන ලද නිලධාරීන්ට එරෙහිව විනය පියවර නොගැනීම, එවකට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් 2013.07.11 දින ලබා දුන් අභ්‍යන්තර විමර්ශන වාර්තාවට අනුව චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු නොකිරීම, විහාරාරාම සංරක්ෂණය කිරීමේ දී නුසුදුසු දැව යොදා ගත්තේ යැයි චෝදනා එල්ල වූ  එම සංරක්ෂණ නිලධාරීන්ට එරෙහිව පියවර නොගැනීම, දිගින් දිගට ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිදු වූ අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ඇතුළු චෝදනා රැසක් එම චෝදනා පත්‍රයේ අන්තර්ගත වෙනවා.


මිට අමතරව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ වසර 13 ක රාජකාරී කටයුතු කර ඇතත් මේ දක්වා ගත වූ කාලය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ විධායක මට්ටමේ තනතුරුවලින් සියයට අසූවක් පමණ සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව තම අභිමතය පරිදි කණිෂ්ඨ සේවකයින් බඳවාගැනීම ආදී චෝදනා ඔහු සම්බන්ධයෙන් එල්ල වී තිබෙනවා.

රට තුළ ජනතාව අතර අවිශ්වාසය ඇති වීම:

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂණ භූමි බාහිර පුද්ගලයක් විසින් අත්පත් කරගැනීම, ඇතැම් ස්මාරක එක් එක් පුද්ගලයන්ගේ අභිමතය පරිදි විකෘති කිරීමවලට ඉඩ ලබා දී ඒ සම්බන්ධයෙන් පුරා විද්‍යා පනතේ විධිවිධාන අනුව ක්‍රියාත්මක නොවීම ඔහු සම්බන්ධයෙන් ඇති බරපතල ම චෝදනායි.

මේ රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවතින පුරාවිද්‍යා භූමි තුළ විවිධ පුද්ගලයන් අනවසර ඉදිකිරීම් සිදුකරන විට අත්පත් කරගැනීම් සිදු කරන විට ඒවා නතර කිරීම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ වගකීම හා බලතල පුරාවිද්‍යා පනතට අනුව සෘජුවම පැවරී තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙතයි.

එසේ තිබිය දී ඔහු එම වගකීම පැහැර හැරීම හරහා සිදුවන්නේ මේ රට තුළ ජනතාව අතර අවිශ්වාසය ඇති වීම හා අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් පුරාවිද්‍යා උරුමයන් විනාශ වී යාම පමණයි.

මෙවන් වටපිටාවක් තුළ යම් නිලධාරියකු වගකීම් පැහැර හරිමින් දිගින් දිගට ම කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙසත් රජයක් ලෙසත් අප ක්‍රියාමාර්ග ගත යුතුයි. ජනතාව අපට පරමාධිපත්‍ය බලය ලබා දී තිබෙන්නේ නිලධාරී යාන්ත්‍රණය තුළ සිදුවන රටට අහිතකර හා අකාර්යක්ෂම තත්ත්වයන් මග හරිමින් අවශ්‍ය කටයුතු කිරීම සඳහායි.

මහජන නියෝජිතයකු ලෙස මා හට පවරා ඇති එම වගකීම අබමල් රේණුවකින් හෝ පැහැර හැරීමට මා කිසි විටෙකත් සූදානම් නැහැ.

එසේම ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමග මට කිසිදු ආකාරයක පුද්ගලික ගැටළුවක් නොමැති බව මා අවධාරණය කරන්න කැමතියි, අපට තිබෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා තම වගකීම නිසි අයුරින් ඉටුකලාද නැද්ද යන්න පමණයි, ඔහුට මෙම චෝදනා සම්බන්දයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට අවකාශ සපයා තිබෙනවා.

මගේ තනි තීරණයක් නොවේ :

මා සදහන් කරන්න කැමතියි ආචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධූරයෙන් ඉවත්කිරීමට ගත් තීරණය හුදෙක් අමාත්‍යවරයා විදිහට මගේ තනි තීරණයක් නොවන බව. එය කැබිනට් මණ්ඩලය සාමුහිකව එළඹි තීරණයක්.

අදාළ චෝදනා සම්බන්ධයෙන් හා පැවති අකාර්යක්ෂමතාවය හේතුවෙන් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ධූරයෙන් ඉවත්කිරීමට අදාළව චෝදනා පත්‍රය අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහුට බාර දුන් පසු පුවත්පත් කිහිපයක වාර්තා වූ පුවතක් පිළිබඳ මාගේ අවධානය යොමු කරන්න කැමතියි.

සීගිරියේ කළුදිය පොකුණ අසල හෝටලයක් ඉදිකිරීම:

මැයි මස 21 වන දින ඉරිදා ලංකා පුවත්පත ලෝක උරුම සීගිරියේ කළුදිය පොකුණ අසල ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීම සඳහා අනුරාධපුර ආලන්කුලම නම් ප්‍රකට ව්‍යාපාරිකයාට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ලේකම්වරයකු හරහා කටයුතු කර ඇති බවත් මේ පිළිබද විරෝධය පළ කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ධූරයෙන් ඉවත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් බලපෑම් කරන බවත් වාර්තා කර තිබුණා. එමෙන් ම කළුදියපොකුණ අවට ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගනිමින් වසර 2,300 කට වඩා පැරණි සෙල්ලිපි විනාශ කිරීමට ද කටයුතු කර ඇති බව ද  එහි වාර්තා කර තිබුණා.

එමෙන් ම තවත් පුවත්පත් කිහිපයක් ද මේ පිළිබඳ ඒක පාර්ශවීය මාධ්‍ය වාර්තාකරණයක යෙදෙමින් ඉහත කරුණ හා සමාන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් පාඨක ජනතාව නොමග යැවීමේ උත්සාහක නිරත වූ බව අවධාරණය කළ යුතුයි.

රටේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් රජය කටයුතු කරන මොහොතක ප්‍රජාතන්ත්‍රය පිළිබඳ ඉහලින් කතාකරන  සමාජවාදය ගැන උදම් අනන දේශපාලන පක්ෂයක හෙවනැල්ල යට ක්‍රියාත්මක ඉරිදා ලංකා පුවත්පත මෙවැනි ආකාරයේ ප්‍රලාප ජනතාව අතරට ගෙන යාම අප පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

මෙලෙස අපහාසාත්මක පුවත්, චරිත ඝාතන, අසත්‍ය පුවත් මාධ්‍ය හරහා සිදු වීම කණගාටුදායක තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ක්‍රියාත්මක සියලුම පුවත්පත් ස්වයං නියාමනය සඳහා අත්සන් තැබීම සිදු කරනවා.


 මේ පුවත්පත ස්වයං නියාමන ක්‍රියාවලිය සඳහාවත් අත්සන් තබා නොමැති බව ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම අප වෙත ලිඛිතව දන්වා එවා තිබෙනවා. ඔන්න ඕකයි මේ පුවත්පතේ තත්ත්වය. මේ වටපිටාව තුල තමන්ට ඕනෑම ආකාරයකින් ඕනෑම පුද්ගලයෙකුට අභූත චෝදනා නැගීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා.

‘ඉරිදා දිවයින’ වාර්තාව : ෆැසිස්ට්වාදී මුහුණුවරක්

මීළඟට මා සඳහන් කරන්න කැමතියි පසුගිය ‘ඉරිදා දිවයින’ මේ සම්බන්ධයෙන් වාර්තා කළ ප්‍රවෘත්තිය පිළිබඳව. එම පුවතින් ඔවුන් සඳහන් කරනවා වත්මන් අමාත්‍යවරයා පුරාවිද්‍යා කටයුතු හා සංචාරක කටයුතු පටලවා ගෙන කටයුතු කරන්නෙකු බවත් දඹූල්ලේ කලුදිය රක්ෂිතයට අයත් වන රක්ෂිතයේ ප්‍රදේශයක් සංචාරක හෝටලයකට ලබා දී ඇති බවත් 2017 ජනවාරි මාසයේ දී එම රක්ෂිතයේ කටාරමක තිබූ ශිලා ලේඛනයක් ග්‍රයින්ඩරයක් යොදා ගෙන හානි කර ඇති බවත් සඳහන් කර තිබෙනවා,

එසේම සංචාරක ව්‍යාපාරය සමග පුරාවිද්‍යාව පටලවා ගැනීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සහ    පුරාවිද්‍යා ස්ථාන සංචාරක ව්‍යාපාර සඳහා බදු දීමේ අරමුණින් ඊට එරෙහි වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් මතු කරමින් තවදුරටත් මෙම පුවත වාර්තා කර තිබුණා.


මෙරට ලෝක උරුමයන් පිළිබඳව මෙන් ම රජය සහ පුරා විද්‍යා විෂ්‍ය භාර අමාත්‍යවරයා ලෙස මා පිළිබඳවත් අසත්‍ය පුවත් වාර්තා කිරීම පිළිබඳව අපගේ අප්‍රසාදය පල කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් උදම් අනන ඇතැම් මාධ්‍යවල හැසිරීම සම්පූර්ණයෙන් ෆැසිස්ට්වාදී මුහුණුවරක් ගෙන තිබෙනවා.

මාධ්‍යයක ඇති වගකීම ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසනීයත්වය, සමබරතාවය ,  අපක්ෂපාතී අදහස් ලබාගැනීම , පුවතක නිරවද්‍යතාවය එම පුවත මුද්‍රණය කර පලකිරීමට පෙර තහවුරු කරගැනීම ආදී මූලික සිද්ධාන්ත පවා අමතක කර දමමින් මේ ආකාරයේ පදනම් විරහිත මඩ ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ මෙරට පුවත්පත් සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතන මාධ්‍ය සංවිධාන අවධානය යොමු කළ යුතු යි.

මාධ්‍යවේදීන් පිළිබඳව පමණක් නොව මාධ්‍යයෙන් නගන අභූත චෝදනා නිසා පීඩාවට පත්වන පුද්ගල චරිතයන් පිළිබඳවත්, මෙවැනි තත්වයන් නිසා මාධ්‍ය සම්බන්ධව පළුදුවී යන ජනතා විස්වාසය පිළිබඳවත් මාධ්‍ය සංවිධාන අවධානය යොමුකළ යුතුය.

එසේම මෙවැනි අසත්‍ය පුවත් වාර්තා පලකිරීම නිසා ගිලිහී යන්නේ සමස්ත මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

 කිසිදු විටෙක බලපෑම් කර නැහැ :

විෂයභාර අමාත්‍යවරයා ලෙස මා කිසි විටෙකත් කිසිදු ව්‍යාපාරිකයෙකුට හෝටල් ඉදිකිරීම සඳහා කිසිදු පුරා විද්‍යා වටිනාකමක් සහිත ඉඩමක් ලබා දෙන ලෙස පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර නැති බව මා නැවතත් අවධාරණය කරනවා.

මා අභියෝග කරනවා යම් කිසිවකු එවැනි චෝදනාවක් කරනවා නම්, නම් ගම් සඳහන් කරමින් වගකීමකින් යුක්තව එවැනි චෝදනා ඉදිරිපත් කරන ලෙස. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන රජයක් පවතින මේ මොහොතේ මාධ්‍ය නිදහස උපරිමයටත් වඩා ලබා දී ඇති වටපිටාවක මා එවැනි කිසිදු ආකාරයක බලපෑමක් සිදු කළේනම් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් හැකියාව පවතිනවා.
 
ඒ වගේම මම මාධ්‍ය වලටත් දැනුම් දෙන්න කැමතියි හිතළු නිර්මාණය කරමින් ප්‍රවෘත්ති වාර්තා කරනාවට වඩා මාධ්‍යයට ඇති සමාජ වගකීම යුතුකම මෙන් ම මාධ්‍යයට කළ හැකි බලපෑම පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව එය තේරුම්ගනිමින් තොරතුරු වාර්තා කරන ලෙස.

 ඒ වගේම එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ටත් මතක් කිරීමට කැමතියි විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සහ පුද්ගලික මතවාද අනුව කටයුතු කරන මාධ්‍ය වෘත්තිකයන් හරහා සමාජයට සිදුවන හානිය පිළිබඳ වගකීම ඔබ අතේ පවතින බව.

අකාර්යක්ෂම හා දූෂිත නිලධාරීන්ට එරෙහිව :

රාජ්‍ය පාලනයේ දී මහජනතාව තමන්ගේ ඡන්ද බලය හරහා මහජන නියෝජිතයින් තෝරා පත්කර ගන්නේ ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත තීන්දු තීරණ ගැනීම සඳහායි. එමෙන් ම නිලධාරි යාන්ත්‍රණය හරහා රටේ ජනතාව වෙනුවෙන් විය යුතු කාර්ය භාරය සඳහා නායකත්වය ලබා දීමයි.

නමුත් අද ඇතැම් අකාර්යක්ෂම හා දූෂිත නිලධාරීන්ට එරෙහිව අප ක්‍රියාත්මක වන විට එය තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතාවන් සහ තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට ඇතැම් නිලධාරීන් සහ පිරිස් දරණ බාල උත්සාහයන් මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුතුයි.

පසුගිය පාලන සමයේ දී යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. පාලන සමයේත් විනාශ නොවූ උතුරු නැගෙනහිර පළාත් පුරා විසිරී ඇති පුරා වස්තු විනාශයට එරෙහිව ඊට අනුබල දුන් ඊට සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධව මුළු රට ම දන්නවා.

ඒ වගේම යුනෙස්කෝ ලෝක  උරුමයක් ලෙස නම් කරන ලද දඹුලු ලෙන විහාරය, ගාලු කොටු පවුර තුළ අනවසර ඉදිකිරීම සිදු කරන්නට ඉඩ ලබා දී තිබෙන්නේත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලන සමයේ දී බව මා මතක් කරන්න කැමතියි.

පසුගිය පාලන සමය තුළ පුරා විද්‍යා රක්ෂිතවල හෝටල් ඉදිකරන විට නීති විරෝධී අයුරින් ගල් කොරි පවත්වාගෙන යන විට, අනවසරයෙන් පුද්ගලයන් පදිංචි වන විට, පුරාවිද්‍යා වස්තු වනසන විට මුනිවත රැකපු ඇතැම් කණ්ඩායම් අද අබමල් රේණුවක බලපෑමකින් තොරව පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට පමණක් මා ඇතුළු රජය ඇප කැප වන මොහොතක අභූත චෝදනා එල්ල කිරීම කණගාටුවට කරුණක්.

ඇතැම් දූෂිත හා අකාර්යක්ෂම නිලධාරීන් තනතුරින් ඉවත් කරන විට එම සිදුවීම් වෙනත් විකෘති කරන ලද කරුණු මත අවස්ථාවාදී දේශපාලන මඩ ව්‍යාපාර සඳහා යොදා ගැනීම රජයක් ලෙස අප ප්‍රතික්ෂේප කරනවා.

මතු කර ගත් අතීත උරුමයේ වටිනාකම:


සංචාරක ව්‍යාපාරය සහ පුරාවිද්‍යාව පිළිබඳව මා හට ඇති දැනුම සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත්පතේ පසුගිය විශේෂාංගය ලියපු මාධ්‍යව්දියා ප්‍රශ්න කර තිබුනා. විෂයභාර අමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් මා සඳහනක් කල යුතුයි.

ලෝකයේ පුරා විද්‍යා ස්ථාන සහ දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරය ඒ හා බැඳි පවතින ආකාරය පිළිබඳ මෙරට බොහෝ දෙනෙකුට නිසි දැනුමක් නොමැති වීම කණගාටුවට කරුණක්. අතීත උරුමය අප මතු කර ගන්නේ විශාල වියදමක් දරමින්. ඒ මතු කර ගත් අතීත උරුමය ඒ වටිනාකම අප අනාවරණය කළ යුතුයි.

එය මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යනයන් කළ යුතුයි. කෞතුකාගාර ඉදි කළ යුතුයි. පුරාවිද්‍යාව සම්බන්ධයෙන්ද දැනුම් කේන්ද්‍රස්ථාන ඉදි කළ යුතුයි. විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත හැකි අයුරින් අප රටේ අතීත උරුමය ශ්‍රී විභූතිය ප්‍රවර්ධනය කළ යුතු යි.

පුරා විද්‍යාත්මක සාධක සාක්ෂි සංචාරක ආකර්ශනය දිනා ගන්නා සම්පත් බවට පත් කර ගත යුතුයි. සංචාරකයින් හරහා ලැබෙන ආදායම නැවත මේ පුරා වස්තු සංරක්ෂණයටත් සංචාරකයන්ගේ පහසුකම් සංවර්ධනය කිරීමටත් යෙදවිය යුතුයි. පුරා විද්‍යා උරුමයන් අප මතු කර ගත යුත්තේ ගබඩා කර තැබීමටවත්, සඟවා තැබීමටවත් නෙවෙයි.

 මෙන්න මේ තත්ත්වය අවබෝධ කරගැනීමට අප සමත් විය යුතුයි. නව ප්‍රවණතාවන් සමග ලෝකය අධ්‍යයනය කරමින් ඉදිරියට යාමට සහ කොදෙව් මානසිකත්වයෙන් අත් මිදී නිවහල්ව සිතිවිලි අවදිකිරීමට අපේ මනස සකස් කරගත යුතු යි.

Dambulla cave temple

දඹුලු ලෙන, ගාලු කොටුව ආදී ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානමක්

මම යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුවේ සාමාජිකයකු වගේ ම මෙරට යුනෙස්කෝ සභාපතිවරයා ලෙසත් කටයුතු කරනවා. මා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් එරිනා බොකෝවා මහත්මිය සමග සීගිරිය දඹුල්ල ආදී ස්ථාන රැසක සංචාරයන්ට එක් වුණා.

එහිදී අනාවරණය වුණා දඹුලු ලෙන, ගාලු කොටුව ආදී ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයන් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානමක් පවතින බව. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ අදාළ පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සිදුකරන අනවසර ඉදිකිරීම් බවත් හෙලි වුණා.


පුරාවිද්‍යා උරුමයන් විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මත මෙලෙසින් විනාශ කරන්නට ඉඩ කඩ ලබා දී පුරා විද්‍යා පනත අනුව ක්‍රියාත්මක නොවී නිහඬව සිටින නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය විරුද්ධව කටයුතු කිරීම වරදක් නම් අප කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා  රිසිසේ ජාතික සම්පත් මංකොල්ල කෑමට ඉඩ ලබා දී ඒවා පෞද්ගලික භුක්තියට පවරා නිහඬව සිටීමයි.
 
විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ සඳහා මා කිසි ලෙසකින් ඉඩ තබන්නනේ නැහැ. ඊනියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා සීගිරියේ හෝටල් ව්‍යාපෘතියකට ඉඩ ලබා නොදුන් නිසා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාරු කොට ඇමතිට හිතවත් ඇමතිගේ පදයට නටන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කිරීමට තීරණය කර ඇති බව.

 මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා ක්ෂේත්‍රයේ  ඉන්න සියලුම නිලධාරීන් වියතුන් සාක්ෂි දරාවි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලද මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාට ඉදිරියේ තම රාජකාරි කටයුතු ඉටුකරන ආකාරය පිළිබඳව.

ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දුෂණ ක්‍රියාවලට සම්බන්ධ තවත් නිලධාරීන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්නවා, එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට ප්‍රතිව්‍යුහ ගත කිරීමට කටයුතු කරනවා.

කලු පැල්ලම් ගාගත් පුද්ගලයෙක් නෙවෙයි:

ගරු කථානායකතුමනි, මෙම චෝදනාව සම්බන්ධයෙන් තව වැදගත් කරුණකට ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි.  මහජන නියෝජිතයින් ලෙස අපට එල්ල කරන චෝදනා ජනප්‍රිය කරවීම පහසුයි. හේතුව අපට එල්ල කරන චෝදනා දේශපාලන භාවිතාවකට යටත් වීමයි. අපට විරුද්ධව යම් චෝදනාවක් එල්ල වුණාම විරුද්ධ දේශපාලන කණ්ඩායම්වල එය සටන්පාඨයක් බවට පත් වෙනවා.

මේ නිසා ගරු කථානායකතුමනි, මා අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි මහජන නියොජිතයින්ට එල්ලවන මෙවැනි පදනම් විරහිත අභූත චෝදනාවන් සම්බන්ධයෙන් විභාග කිරීමේ සාධාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි කියලා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top