ගංවතුර හසුවූ පාසලක් : ''ඉතිරිවුණේ ඇඳිවත පමණයි'' ගංවතුර හසුවූ පාසලක් : ''ඉතිරිවුණේ ඇඳිවත පමණයි''
Jun 09, 2017

"සබරගමුවේ ළමුන් 26000කට ඇඳිවත පමණයි" Featured

පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් සබරගමු පළාතේ පාසල් සිසුන් 26000කගේ පොත්පත් සහ ඇඳුම් විනාශවී ඇති බව පළාත් බලධාරීහු පවසති.

සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියා සිටියේ සියලු දේ අහිමි ළමුන් මානසික පීඩාවකින් ද පෙළෙන බවය.

"පලාතේ මුලු ළමයින් සංඛ්‍යාව 350,000ක් පමණ වෙනවා. ඉන් ළමයි 26000ක් අවතැන් වුණා. ඔවුන්ට ඉතිරිවුණේ ඇඳිවත පමණයි. මේ ළමයින්ට අභ්‍යාස පොත්, පෙළ පොත්, නිල ඇදුම්, බෑග්, කවකටු පෙට්ටි, සපත්තු, වතුර බෝතල් මේ හැම දෙයක්ම අවශ්‍යයි." යනුවෙන් ඔහු පැවසීය.

වැඩිම සිසුන් පිරිසක් අවතැන් වී ඇත්තේ රත්නපුර, නිවිතිගල සහ දෙහිඕවිට යන කලාප තුළය.

ළමුන්ගේ මානසික මට්ටම:

තමන් සතුව තිබූ සියල්ල අහිමිවීම හේතුවෙන් ළමුන්ගේ මානසික මට්ටම පහළ වැටී ඇති හෙයින් එය නගා සිටුවීම සඳහා උපදේශන සේවාවන් ආරම්භ කිරීමට ද සිදුවී ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ය.

 96397973 608 25

පාසල් 81ක අධ්‍යයන උපකරණ ඇතුළු සියලු දේ විනාශයි

සබරගමු පළාතේ පමණක් පාසල් ළමුන් 19දෙනෙකු මරණය පත්ව ඇති අතර පාසල් 81ක අධ්‍යයන උපකරණ ඇතුළු සියලු දේ විනාශවී තිබේ.

එම පාසල් යථා තත්ත්වය පත්කිරීම සඳහා රුපියල් මිලියන 530ක් වැයවනු ඇති බව කී පළාත් ලේකම්වරයා එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ද කීවේය.

(බීබීසී සිංහල සේවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top