අධිකරණ සේවා කොමිසන් සභාව පවසන්නේ මේ මාරුවීම කර ඇත්තේ වාර්ෂික මාරුවීමේ ක්‍රමවේදයට අනුව බවයි.
කෙසේවුවද, ඒ මහතාට ලබාදී ඇති අදාළ මාරුව විනිසුරුවන් මාරුකිරීමේ ක්‍රමවේදයෙන් පිට පැන ලබාදුන්නක් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ඔහුට වාර්ෂික මාරුවීම් ක්‍රමවේදයට අනුව පසුගිය වසරේ (2015) දෙසැම්බර් 31 වැනිදා සිට කොළඹ දිසාඅධිකරණයට මාරුවක් ලබාදී තිබූ අතර, එය ඒ මහතාගේ ඉල්ලීමකින් තොරව අත්හිටුවා ඔහු වසරක කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධූරයේ රඳවා තිබිණි.
එම තීරණය ගෙන තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසිනි.
ඒ අනුව වාර්ෂික මාරුවීම් ක්‍රමවේදයට මාරුවීමක් ලබාදෙන්නේ නම් ඔහු මාරු කළ යුතුවන්නේ නැවත කොළඹ දිසා අධිකරණයට බව නීති කේෂත්රයේ ප්‍රවීණයෝ කියති.
මේ අතර, සාමාන්‍ය මාරු සම්ප්රදාය අනුව විනිසුරුවරුන්ට වාර්ෂික ස්ථානමාරුවීම් ලබාදීමට පෙර ඔහුගෙන් තමා මාරුවීම ලබා ගැනීමට මනාප ස්ථාන පහක් විමසා සිටින අතර පිලපිටිය මහතාට ලබාදී ඇත්තේ ඔහුගේ මනාපයට ඉල්ලූ ස්ථාන පහහෙන් පිට එකක් බවද වාර්තා වේ.
අධිකරණ සේවා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන පරිදි පිලපිටිය මහතා ඉල්ලා ඇත්තේ හෝමාගම, නුගේගොඩ, ගල්කිස්ස, කඩුවෙල හා කොළඹ බවයි.
ෆවුසිගේ තීන්දුව
මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ මෝටර් රථයක් අවභාවිතා කළ බවට චෝදනාකරමින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ගොනුකර තිබූ නඩුව කැඳවමින් පිලපිටිය මහතා අදාළ වරදකර ඇති අනෙක් අයත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස ලබාදුන් තීන්දුව මේ ස්ථාන මාරුවට පරහට හිටියේදැයි සැකයක් නීති කේෂත්රයේ මතුව තිබේ.
එසේම, ඒ මහතා පසුගිය කාලයේදී නීති විරෝධී අලි සම්බන්ධ නඩුවලදී ලබාදුන් තීන්දු, හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු හා ඇවන්ට් ගාර්ඩ් නඩුව සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු ආන්දෝලනාත්මක ඒවා විය.
පිලපිටියගේ දුෂ්කර සේවා වසර 10ත් අවසන්
ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන ආකාරයට ඒ මහතාගේ දුෂ්කර සේවයේ වසර 10ක කාලයද මේවන විට සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ විනිසුරු වෘත්තියට වසර 15ක පමණ කාලයක් සපිරෙන බවත් ඔහු නීතිපති දෙපාර්තමේන්තුව තුළ වසර 5ක පමණ කාලයක් සිට ඇතැයි පැවසේ.
එම කාලයේදී ඒ මහතා ඇඹිලිපිටිය, රක්වාන, බලංගොඩ හා කුළියපිටිය යන ප්‍රදේශවල සේවය කර ඇති බව වාර්තා වේ.
- කැළුම් ශිවන්ත