Jun 16, 2017

යුද අපරාධ විභාග කිරීමට “ශ්‍රී ලංකාවට හැකියාවක් නෑ” Featured

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග වල ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය නොමැති කම දැඩි ලෙස විවේචනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ විභාග කිරීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට සිදු කළ නොහැකි බවට අනතුරු අඟවයි.

ජිනීවා නුවර මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 35 වැනි සැසි වාරය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳව සභාගත කරන ලද විශේෂ වාර්තාවක අවධාරණය කර ඇති පරිදි, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ද ඇතුළු තවමත් ස්ථාපිත කර නැත.

ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් ගේ ස්වාධීනත්වය පිලිබඳ එම වාර්තාව සකස් කර ඇත්තේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සිදුකළ දස දින නිල සංචාරයකින් පසුවය.

සංක්‍රාන්ති යුක්තිය:

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පිහිටුවනු ලබන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය “ස්වාධීන, අපක්ෂපාතී, විශ්වසනීය සහ ප්‍රතිපල ලබාදෙන” එකක් විය යුතු බව අවධාරණය කරන වාර්තාව ශ්‍රී ලංකාවේ එහි අඩුවක් ඇතැයි පෙන්වා දෙයි.

“ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර පරිමානයේ අපරාධ වලට සම්බන්ධ අතිශයින් සංකීර්ණ නඩු සම්බන්ධයෙන් ස්වාධීනව සහ වෘත්තීය නිපුනත්වයකින් යුතුව කටයුතු කිරීමේ ශක්‍යතාව පොලිසිය, රජයේ නීතිඥවරුන් සහ විනිශ්චයකාරවරුන් සතුව නැතැ,” යි වාර්තාව පවසයි.

චෝදනා එල්ලවන පොලිසියේ හා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ද නිලධාරීන්ද දඬුවම් නොලබා ගැලවී යාම ද විශේෂ නියෝජිත වාර්තාවේ දැඩි විවේචනයට ලක් වී ඇත.

“දණ්ඩ මුක්තිය කොයි තරම් දුරට පැතිර පවතින්නේද කියතොත්, අධිකරණ පද්ධතිය කෙරේ ඇති මහජන විශ්වාසය කැබලි කර දැමීමට එය හේතුවී ඇතැ,” යි එහි සඳහන් වෙයි.

විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ පසුගිය වසරේ අප්‍රේල් 29 සිට මැයි 7 දක්වා ශ්‍රී ලංකාවේ සිටියදී කොළඹ මෙන්ම යාපනයේත් සහ අනුරාධපුරයේත් හමුවීම් පවත්වා තිබේ.

දේශපාලන බලධාරීන් ට අමතරව ඇය මානව හිමිකම් නිලධාරීන්, නීති නිලධාරීන් සහ නීතිවේදීන්ට අමතරව සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ විදේශීය දුත මණ්ඩල නියෝජිතයන්ද මුණගැසී තිබේ.

‘කම්මැලි’ නීතිපති දෙපාර්තමේන්තුව :

Shavendra jagath jayasuriya jagath dias

ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව එල්ලවන චෝදනා

යුද්ධයට සම්බන්ධ නොවන අපරාධ සම්බන්ධයෙන් පවා ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව එල්ලවන චෝදනා විභාග කිරීම සිදු නොකෙරෙන බව එහිදී දැනගන්නට ලැබුනු බව විශේෂ නියෝජිතවරිය පවසයි.

“විශ්වසනීය මුලාශ්‍ර වලට අනුව ආරක්ෂක හමුදා, විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයන් සම්බන්ධ ඇතැම් සිද්ධි සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ දූෂණ වංචා සම්බන්ධ නඩු ඇනහිට ඇත, නැතහොත් කිසිවිටෙකත් විමර්ශනය කෙරෙන්නේ නැතැ,” යි වාර්තාවේ සඳහන් වෙයි. “එවැනි සංවේදී සිද්ධි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය විස්තර කෙරුනේ ‘මදක් කම්මැලි’ යනුවෙනි.”

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය:

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයක් (OMP) පිහිටුවීමේ අනපනත් සම්මත කරගෙන මාස ගණනාවක් ගතවීත් එය ක්‍රියාවේ නොයෙදවීම සිවිල් සමාජ ක්‍රියාධාරීන් ගේ බරපතල කනස්සල්ලට හේතුවී ඇති බවද වාර්තාව පවසයි.

එම කාර්යාලය පිහිටුවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් රජය කිසිදු තොරතුරක් හෙළිකොට නොතිබීම මගින් පෙනී යන්නේ නීති සම්පාදන කාර්යාවලියේ පාරදෘශ්‍ය භාවයක් නොතිබීම යැයි විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් ගේ ස්වාධීනත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ පිටු විස්සකින් යුත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top