Jun 22, 2017

''බැඳුම්කර දුෂකයින්ට ළඟදීම හිරබත් කන්න වෙනවා'' - මහින්ද

මහබැංකු බැඳුම්කර වංචාව ඇතුළු රජයේ දේපොළ කොල්ලකා රජ සැප විඳිමින් සිටින දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට නුදුරු දිනකදීම හිරබත් කෑමට ඉඩ සලසන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරයි.

මහජන මුදල් හා රාජ්‍ය දේපළ හොරකම් කළ කිසිදු දේශපාලනඥයකුට හෝ නිලධාරියකුට නිදැල්ලේ සිටීමට ඉඩ නොදෙන බව පැවසු අමාත්‍යවරයා, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර කොල්ලකෑ මහජන දේපළද රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සලසන බවද කියා සිටියේය.

මේ වන විට රාජ්‍ය දේපළ අවභාවිතාවේ යෙදවූ මහජන මුදල් කොල්ල කෑ පිරිසක් වැඩ තහනමට ලක් වී ඇති බවත්, ඔවුන්ගේ වැඩ තහනම් වූ පමණින්ම ඔවුන්ට කිසිසේත්ම ගැලවීමට ඉඩක් නොලැබෙන බවත් ඇමතිවරයා පැවසිය.

මහ බැංකු බැඳුම්කර වංචාව ඇතුළු සියලු වංචනික, දූෂිත ක්‍රියා පිළිබඳ තීන්දු තීරණ නිසි මොහොතේ අධිකරණය විසින් ලබා දෙනු ඇති බවත්, එතෙක් රජයක් ලෙස ඔවුන්ට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top