Jun 23, 2017

ලංකාවේ තොරතුරු දැනගැනීමට නිල වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් එහි නිල ත්‍රෛභාෂා වෙබ් අඩවිය වන http://www.rticommission. lk/ 2017 ජූනි 19 වැනි දින ජනගත කළ බව නිවේදනය කර සිටියි.

එයට අනුව කොමිෂන් සභාවේ නිල ලාංඡනය, අතක් මත තබා ඇති, පොදුවේ තොරතුරු සංකේතවත් කරන ඇසකින් සමන්විත වන අතර, ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් කණීනිකාවක් හෙවත් කළු ඉංගිරියාවක් ඇස තුළ අන්තර්ගත වේ.

මෙම වෙබ් අඩවියේ, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට යටත්ව සියලු අමාත්‍යාංශවලට අදාළ වන ප්‍රගාමී හෙළිදරවු කිරීම් පිළිබඳ මාර්ගෝපදේශන කෙටුම්පතක් අඩංගු වේ.

පනත යටතේ විශේෂිතව දක්වා ඇති ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීමේ මූලධර්මයට අදාළව අමාත්‍යවරුන් විසින් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිකුත් කළ යුතු තොරතුරු මෙන්ම පොදු වශයෙන් ගත් කල අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වයට අදාළ කාර්යයන් සහ කර්තව්‍යයන් ද මෙම වෙබ් අඩවියේ අන්තර්ගත වේ.

ජනතාවගෙන් ප්‍රතිචාර ඉල්ලයි :

ඒ අනුව අයවැය යටතේ සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලි මෙන්ම දේශීය සහ විදේශීය වියදම් යටතේ සිදු කළ වියපැහැදම් සම්බන්ධයෙන්ද සැපයිය යුතු තොරතුරු පිළිබඳ දැක්වේ.

තවද මෙකී කාර්යන් සහ කර්තව්‍යයන් නීතිය මගින් ස්වයංක්‍රීයව පැනවෙන්නක් මිස යම් විශේෂිත පොදු අධිකාරියකට එරෙහිව පුරවැසියෙකු විසින් ඉදිරිපත් කරන තොරතුරු ඉල්ලීමක් මත රඳා නොපවතියි.

මෙම මගපෙන්වීම් කෙටුම්පත් නුදුරේදීම අවසානාත්මක කිරීමට නියමිත බැවින්, කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාර තමන් වෙත ලබාදෙන ලෙස ඇරයුම් කර සිටියි.

කොමිෂන් සභාව මේ පිළිබඳ පොදු අධිකාරීන් සහ පුරවැසියන් සමග උපදේශන සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද වෙබ් අඩවියේ දක්වා ඇත.

කොමිෂන් සභා :

මේ අතර, මෙම වෙබ් අඩවියෙන් අනාවරණය වන පරිදි, පොදු අධිකාරීන්ට එරෙහි අභියාචන ගණනාවක් ද මේ වන විට කොමිෂන් සභාව විසින් විභාග කර ඇති අතර, මාර්ග සංවර්ධන අධිකාරිය හා පානදුර නගර සභාව එම පොදු අධිකාරීන් අතරට අයත් වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පිහිටා ඇති ප්‍රාථමික අභියාචන ආයතනය වන්නේ කොමිෂන් සභාවයි.

එමෙන්ම, රාජ්‍ය, සංස්ථාපිත සහ රාජ්‍ය නොවන ආයතන නීතියට අනුකූල ලෙස කටයුතු කරන බවට සහතික වීම ද කොමිෂන් සභාවේ කාර්යභාරය වේ.

එසේ නීතියට අනුකූලව කටයුතු කිරීමට අසමත් වීම හේතුවෙන් වරදකරුවන් අපරාධ නඩු පැවරීමට ලක්වනු ඇති අතර මෙය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හැර සෙසු සමගාමී කොමිෂන් සභාවන් සතුව නොමැති බලයක් ද වේ.

දැනට පවතින අභියාචනා:

ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශන සම්බන්ධ අභියාචන, උතුරු පළාතෙන් ලැබුණු පළාත් සභා ඇමතිවරුන්ගේ විදේශීය ගමන් වියදම් තොරතුරු සහ පළාත් පාලන බලධාරීන් විසින් මෙහෙයවූ පරීක්ෂණ වාර්තා පිළිබඳ තොරතුරු ඉල්ලීම්වලට අදාළ අභියාචන සහ දකුණු පළාතෙන් ලැබී ඇති පාසැල්වලට ළමුන් ඇතුළත් කරගැනීම පිළිබඳ තොරතුරු අභියාචන, කොමිෂන් සභාවේ දැනට පවතින අභියාචනා අතර වේ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top