Jun 26, 2017

අනතුරු ඇඟවීමක් : ''වෛද්‍ය සංගම් ගැන ජනතාව බලාගනිවී''

අත්තනෝමතික වෛද්‍ය සංගම්වලට ජනතාව විසින් පිළිතුරු ලබාදෙනු ඇතැයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොඩි ළමයි වගේ හැසිරෙන බවත්, දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සදහා ඔවුන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිකුත් කළ නිවේදනයක එබව දැක්වේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වාගේ'' යයි ද ඇමතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

ඇමතිවරයාගේ සම්පුර්ණ නිවේදනය පහත පළවේ.

නිල සාකචිඡාවක් නොවේ :

''රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගෙයි. එම සංගමය දියත් කර තිබු වැඩවර්ජනය පිළිබදව සාකචිඡා කිරිමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වුවමනාව මත තමයි සාකචිඡාව පැවැත් වුනේ.

ජනාධිපති කාර්යාලයේ සිටින නිලධාරින්ට බලපෑම් කරමින් තමයි ඒ සදහා වේලාව ලබා ගත්තේ. ජනාධිපතිවරයා මට ප්‍රකාශ කළා මෙය නිල නොවන හමුවීමක් බව. ඒ බව සාකචිඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ට ද දැනුම් දී තිබුනා.

මෙම සාකචිඡාවේ ලිඛිත වාර්තා කිසිවක් නොමැත. සාකචිඡා සටහන් කිසිවක් නොමැත. වීඩියෝ ගත කර හෝ ඡායාරූප ගත කර නොමැත. එම නිසා මෙම නිල නොවන සාකචිඡාව පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.

රජයේ නිල ස්ථාවරත්වය හෙට:

ජනාධිපතිවරයාගේ සාකචිඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබුනි. නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් විසින් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (25) දිනය.

රජයේ ස්ථාවරත්වය නිල නිවේදනය මගින් නිකුත් කර ඇත.

රජයේ ස්ථාවරත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රීකාවක් මගින් හෙට (27) දින කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකචිඡාවට කළින් නිකුත් කර තිබු රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරත්වය නොදැක සිටිම පුදුමයට කරුණකි.

එම ප්‍රතිපත්ති මාලාව තමයි කැබිනට් පත්‍රිකාවේ සදහන්ව ඇත.

ගැලවිඡ්ඡාවට කල දෙයක් :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවස්ථාවේ දී බලහත්කාරයෙන් සාකචිඡාවක් ලබාගෙන වාර්ෂික සැසිවාරයේ දී තම සාමාජිකයින්ගෙන් එල්ලවන විවේචන වලට ගැලවිඡ්ඡාවක් සිදු කර ඇති බව පැහැදිලි වේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීම් ලබා ගත් බව ප්‍රකාශ කරමින්, බොරු කියමින් සිය සාමාජිකයින් අපහසුතාවයට පත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම බොරුව හෙළි වූ පසු එය මගේ පිට පටවන්න හදනවා.

ජනාධිපතිවරයාගේ නිල නිවේදනය වෙනස් කරන්න මට පුළුවන් ද. මම සෞඛ්‍ය ඇමැති විතරයි. මම ජනාධිපති නොවෙයි. නමුත් ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ දී ජනාධිපතිවරයා මා සමග සාකචිඡා කළා.

පොඩි ළමයි වගේ :

රජයේ තීන්දු තීරණ ප්‍රතිපත්ති පොඩි ළමයි වගේ හදන්නේ නැහැ. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොඩි ළමයි වගේ හැසිරෙනවා. දේශපාලන පරමාර්ථ ඉටු කර ගැනීම සදහා ඔවුන් කටයුතු කරනවා.

එම ව්‍යාජ රඟදැක්වීමට එරෙහිව වෛද්‍යවරුන් පෙළ ගැසෙමින් සිටිනවා. නව ව්‍යාපාරයක් බිහි කිරිම සදහා මා සමග වෛද්‍යවරුන් රැසක් අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් මගෙත් එක්ක එකතු වෙනවා.

අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවේ දරාගෙන වෛද්‍යවරුන් කටයුතු කිරීම උචිත නැහැ. එමගින් වන්නේ අනාගතයේ බිහිවන වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීමේ අවස්ථාව ද ගිලිහී යාමයි.

එවැනි අත්තනෝමතික වෛද්‍ය සංගම් වලට ජනතාව විසින් පිළිතුරු ලබාදෙනු ඇත.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top