Jul 03, 2017

ලංවිම ඉන්ජිනේරුවන් මිලියන 2500ක් හොරාකාලා

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ලබාගත් නීති විරෝධී වැටුප් වර්ධනය හරහා වසරකට ඔවුන් නීති විරෝධී ලෙස රුපියල් මිලියන දාහක් ලබා ගන්නා බවත් මේ වනවිට ඔවුන් රටේ මහජන මුදලින් රුපියල් මිලියන 2500ක් හොරා කා ඇති බවත් ලං.වි.ම. පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසයි.

ලං.වි.ම. අන් සේවකයන්ගේ වැටුප සියයට තිහ දක්වා වැඩි වෙද්දී ලං.වි.ම. ඉන්ජිනේරුවන් සිය වැටුප නීති විරෝධී ලෙස සියයට හැත්තෑවේ සිට සියයට එකසිය විසිපහ දක්වා වැඩි කරගෙන ඇති බවද වැටුප් ගැටලුව පිළිබඳ අප කළ විමසුමකදී ඔහු පැවැසීය.

ල.ං.වි.ම. ඉහළ නිලධාරීන්ට පමණක් පසුගිය ආණ්ඩුවෙන් පඩි වැඩි කොට ඇතැයි ජනාධිපතිවරයා පසුගියදා හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේදී පවසා ඇති බව සිහිපත්කල මාලක වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරයා එසේ කියන්නේ නම් පසුගිය ආණ්ඩුවෙන් සිදුවූ වරද නිවැරැදි කිරීමට හොඳම අවස්ථාව මෙය වන බවත් කීවේය.

රාජපක්ෂ ආණ්ඩුවේම සභාපති ?

මේ වනවිට විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපතිත්වය දරන්නේ පසුගිය ආණ්ඩුව සමයේ විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය හෙබවූ ඩබ්ලිව්. බී. ගනේගල මහතාම නිසා ඉන්ජිනේරුවන්ගේ මේ නීති විරෝධී වැටුප් වැඩිවීම පැවැති ආණ්ඩුවේ වරදක්ද විදුලිබල මණ්ඩලයේ පරිපාලනයේ වරදක්ද කියා ජනාධිපතිවරයාට සභාපතිවරයාගෙන්ම අසා දැනගත හැකි බවද ඔහු අප හා පැවැසුවේය.

විදුලිබල මණ්ඩලයේ අසාධාරණයට පත් සේවකයන්ගේ ගැටලුව පිළිබඳ සුළුවෙන් හෝ ජනපතිවරයාගේ අවධානය යොමු වීම සතුටට කරුණක් බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ භාණ්ඩාගාරයේ මෙන්ම කැබිනට් මණ්ඩලයේද අනුමැතියකින් තොරව ලං.වි.ම. ඉන්ජිනේරුවන් 2015 වසරේ ජනවාරි 8දා ආණ්ඩු මාරුව අස්සේ කඩිමුඩියේ කරගත් මේ නීති විරෝධී වැටුප් වැඩි කරගැනීම නිසා ලං. වි. ම. අන් සේවකයන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top