Jul 03, 2017

'ජනාධිපති, අගමැතිගේ කකුලෙන් අදිනවා' - එජාප මන්ත්‍රී

උමා ඔය ගැටලුව විසඳීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශාල උත්සාහයක් මෙන්ම මැදිහත් වීමක්ද සිදු කළ නමුත්, විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ඔහු සතු විධායක බලතල අනුව කටයුතු කිරීම නිසා අගමැතිවරයාගේ උත්සාහය පල රහිත වූ බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කොන් කර නොසලකා හැරීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පැහැදිලිවම සිදු කරන බවත්, පසුගියදා ජනාධිපති මන්දිරයේ පවත්වන උමාඔය සාකච්ඡාවට හෝ තමන්ට ඇරැයුමක් නොකළ බවත්, එනිසා ඉදිරියට ස්වාධීන මන්ත්‍රිවරයකු ලෙසට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කළ බවත් මන්ත්‍රිවරයා කීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

ජනපති කල්වරන ප්‍රතිපත්තියක :

''පසුගිය ආණ්ඩුවයි උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහෙත් අපේ ආණ්ඩුව එහි මතුව ඇති ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න කල්වරන ප්‍රතිපත්තියකයි සිටින්නේ.

ඒ නිසා බණ්ඩාරවෙල ජනතාව තව තවත් ඉවසා සිටින්නට බැරිම තැන තමයි පසුගිය 28දා පාරට බැහැලා හර්තාලයක් කළේ.

ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයෙන් ලිස්සා යනවා.

මෙම ගැටලුවේ මුලින්ම කරන්න තියෙන්නේ අනපේක්ෂිත ජල කාන්දුව නවතාලන එකයි. ඉකුත් 28දා පැවැති උද්ඝෝෂණයේදී එය මෙහෙය වූ අයට පැහැදිලි දේශපාලන අරමුණක් තිබුණා.

පහුගිය ආණ්ඩුවේ කුණු :

උමාඔය ප්‍රශ්නය ගත්තත් සයිටම් ප්‍රශ්නය ගත්තත් අනෙක් ප්‍රශ්න ගත්තත් ඒවට වග කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි..

පසුගිය ආණ්ඩුව ආරම්භ කරපු මේ හැම දේම අද අපේ කරපිට තියලා අපේ පිටට ප්‍රශ්න ටික ගොඩ කරලා ඒ ගොල්ලො ගහගත්ත කොමිස් ටික හොඳින් ආරක්ෂා කරගෙන ඒ ගොල්ලො බේරිලා ඉන්නවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ගැටලුව විසඳන්නට විශාල උත්සාහයක් මෙන්ම මැදිහත් වීමක්ද සිදු කළා.

එහෙත් විෂය භාර අමාත්‍යවරයා ලෙසට ඉන්නේ ජනාධිපතිතුමා නිසා ජනාධිපතිතුමාට තිබෙන විධායක බලතල අනුව අගමැතිවරයාට ඔහු අභිභවා යෑමට හැකියාවක් නැති බව තේරුණා. අගමැතිතුමාගේ උත්සාහය පල රහිත වූවා.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top