'සියලුම ජනතාව රටේ ජනතාව' 'සියලුම ජනතාව රටේ ජනතාව'
Jul 06, 2017

''පවරා ගත් උතුරේ ඉඩම් යළි ජනතාවට දීම ආරක්ෂාවට තර්ජනයක්‌ නොවේ'' Featured

ක්‍රියාන්විත සමයේ ආරක්‍ෂක අංශවලට ලබාගත් සිවිල් ජනතාවගේ ඉඩම් යළි ලබාදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන්නේ නැතැයි 22 වන යුද හමුදාපති ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.

සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද හමුදා මූලස්‌ථානයේ ඊයේ (05)  පැවති මාධ්‍ය හමුවේදී මහේෂ් සේනානායක මහතා එසේ කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා -

''සියලුම ජනතාව රටේ ජනතාව. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පවතින රජයේත්, යුද හමුදාවේත් කාර්යයක්‌.

යුද හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගෙන හිටියේ ක්‍රියාන්විත කාලයේදීයි.

 ඊට පසුව අධීක්‍ෂණ කාලයක්‌ පැමිණ තිබෙනවා. දැන් අපි දන්නවා භූමියේ කුමක්‌ද සිදු වෙන්නේ කියලා. එහෙම නම් අපි මර්මස්‌ථාන, අත්‍යවශ්‍ය කඳවුරු හැර ඉතිරි භූමිය ක්‍රමක්‍රමයෙන් මුදාහරිනවා. ඒක ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවේ.

විග්නේෂ්වරන් අපේ හොඳ මිත්‍රයෙක්‌:

මේ පිළිබඳව තීරණ ගත යුත්තේ මේ විෂය ගැන දැනුම තිබෙන අය පමණයි. එහෙම නැතිව කාටවත් වේදිකාවල ඒ ගැන කතා කරන්න බැහැ.

විෂය දැනුම තිබෙන්නේ පොදුවේ ආරක්‍ෂක අංශවලටයි. අප කරන විශ්ලේෂණවල හැටියට කියන්න පුළුවන් ඒක ආරක්‍ෂාවට තර්ජනයක්‌ සිදුවෙන්නේ නැහැ.

විග්නේෂ්වරන් අපේ හොඳ මිත්‍රයෙක්‌. ඒ අය දේශපාලන අවශ්‍යතා අනුව යම් යම් මත දරන්න පුළුවන්. ඒවා ගැන අපි කලබල වෙන්නෙත් නැහැ. කලබල වෙලත් නැහැ. ඉදිරියට කලබල වෙන්නෙත් නැහැ.

 තව සටනක්‌ ඇති වෙන්නේත් නැහැ. එහෙම ඇති වුණොත් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ආරක්‍ෂක අංශ සූදානමින් ඉන්නේ. ඒ ගැන කිසිවකුත් බිය යුතු නැහැ. යුද හමුදාවට දේශපාලනය අදාළ නැහැ..''

අයි. එස්. තර්ජනයක් නැහැ :

පසුගියදා මාධ්‍ය වාර්තා තුළ මෙරටට එල්ල වන බවට දැක්වූ අයි. එස්. ප්‍රහාරය ගැනද මාධ්‍යවේදීන් නව යුද හමුදාපතිවරයාගෙන් විමසූ අතර එහිදී ඔහු පැවැසුවේ එවැනි තර්ජනයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් අවශ්‍ය සියලු ආරක්ෂක අංශ ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ස්ථාන ගත වී සිටින බවත්ය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top