Sathosa

Jul 07, 2017

''මාව අත්අඩංගුවට ගන්න බව කියනවා'' - ගෝඨාභය Featured

මාසයක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බවට සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් මෑතකදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එසේ කිරීමට හැකියාවක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ රටේ නඩු විමසනු ලබන්නේත්, පරීක්ෂණ සිදුකරන්නේත්, තීන්දු ප්‍රකාශයට පත්කරන්නේත් මහින්ද අමරවීරලා වැන්නන් නම් නීතියේ කිසිදු සාධාරණත්වයක් දක්නට නොමැති බව රාජපක්ෂ මහතා කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එබව කියා සිටියේ අද (07) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකරමිනි.

අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු ඔහු, මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි බැහැදැක තොරතුරු කතා බහ කළේය.

එකම දූෂණය එල්.ටී.ටී.ඊ ය තුරන් කිරීම:

තමන් විසින් කළ එකම දූෂණය එල්.ටී.ටී.ඊ සංවිධානය තුරන් කිරීම බව මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, එම ක්‍රියාව නිසා හිරේ දැමිය යුතු නම් එය කිරීමේ ගැටළුවක් නොමැති බව ද පැවසිය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලය ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ යුද්ධය කරනු ලැබුවේ පසුගිය වසර පහ තුළ පමණක් නොවන බව හා හිටපු සෑම ජනාධිපතිවරයෙකුම පාහේ ඒ සඳහා ක්‍රියා මාර්ග ගත් බවයි.

එහෙත් යුද්ධය නිමා කරනු ලැබුවේ පසු ගිය ජනාධිපතිවරයාගේ කාලයේ බවත්, එය අවසන් කිරීම පමණක් තමන් සිදුකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රාජපක්ෂලා හොරා කෑවේ නැ????

රාජපක්ෂලා මේ රට හොරා කෑවේ නැති බවත්, මේ රට බේරාගනු ලැබුවේ රාජපක්ෂලා බවත් පැවසු ඔහු රටට සේවය කරනු ලැබුවේ ජීවිත පරිත්‍යාගයෙන් බව අවධාරණය කළේය.gota mr

තමන්ට යුද්ධය නිමා කරන්නට හැකිවූයේ එලෙස කැපවීමෙන් ක්‍රියා කිරීමෙන් බව කියා සිටි ඔහු වැඩ බැරි අයට මොනවා දුන්නත් කිසිවක් කර කියා ගත නොහැකි බැවින් චෝදනා කරමින් සිටීම හැර වෙනත් කිසිවක් ඔවුනට කළ නොහැකි බවත් සඳහන් කළේය.

මහනුවරට ආ හේතුව ?

තමන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා සමග දේශපාලනය කතා නොකරන බවත්, එසේ වුවද අද මහනුවරට පැමිණියේ තමාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වීම නිසාම මහින්ද අමරවීරලා වැන්නන් බියට පත්වී මෙලෙස තමන් මාසයක් ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශ කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top