Jul 09, 2017

නව ව්‍යවස්ථාව අකුලා නොගන්නා ලෙස හිමිවරු ඉල්ලති (වීඩියෝ)

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පලකරන විරෝධය හමුවේ බිය වී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආපස්සට නොගන්නා ලෙස නාහිමිවරුන් පිරිසක් ප්‍රමුඛ වර්තමාන රජය බලයට ගෙන ඒමට වෙහෙසුනු සිවිල් සමාජ ක්‍රියාධාරීන් රජයට බලකර සිටිති.

පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් පෙරේදා (07) කොළඹ පවත්වන ලද ජාතිවාදයට සහ දුෂණයට එරෙහි සම්මන්ත්‍රණය ඇමතූ බෞද්ධ භික්ෂුන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේ ජනතාවට පොරොන්දු වූ ආකාරයට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම අත් නොහරින ලෙසයි.

සිංහලයන්ටත් බෞද්ධයන්ටත් නව ව්‍යවස්ථාවෙන් හානි පැමිණෙන බවට ඇතැම් නාහිමිවරුන් මතු කරන බිය “බොරු දේශප්‍රේමයක්” ලෙසින් සත්කෝරලේ උප ප්‍රධාන සංඝනායක මාගල්කඩවල පුඤ්ඤසාර හිමියන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

සිංහල බෞද්ධයන් කෙරේ තමන්ටත් කැක්කුමක් ඇතැයි කී උන්වහන්සේ ඒ කරන කොටගෙන රටේ දෙමළ මුස්ලිම් හිරිහැර වෙන්නේ නම් නො ඉවසන බව කියා සිටියහ.


“බණ්ඩාරනායක නාට්‍යය දෙවැනි කොටස”

ජාතිවාදී බලවේගවලට බියෙන් ජනපති අගමැති දෙදෙන ව්‍යවස්ථාව ගෙන ඒමට මැලිවන්නේ නම් ඔවුන්ට ශක්තිය සැපයීම සඳහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව ශ්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ අවධාරණය කළහ.

“අපේ හාමුදුරුවරු කියන කියන ආකාරයට මේ ව්‍යවස්ථාව නැති කරනවානම්, මේ රටේ ජනතාවට ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

එසේ නොවෙතොත් මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ එක්වී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියම අකුලා දමනු ඇති බවට අනතුරු ඇඟවූ උන්වහන්සේ, එම අවදානම හැඳින්වූයේ “බණ්ඩාරනායක නාට්‍යය දෙවැනි කොටස” යනුවෙනි.

දෙමළ ජනතාවට බලය බෙදීමක් ඇතුලත් කොට මෙයින් හැට අවුරුද්දකට ඉහත ජුලියක දී පෙඩරල් පක්ෂ නායක එස් ජේ වී චෙල්වනායගම් සමග අත්සන් කරන ලද බණ්ඩා-චෙල්වා ගිවිසුම නමින් ප්‍රකට එකඟතාව බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිංහල බලවේග වල බලපෑමට යටවූ අගමැති එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසින් 1958 දී ඉරා දමන ලදී.

ඉන් වසරකට පසු තල්දුව සෝමාරාම හිමියන් විසින් අගමැති බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනය කරන ලදී.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top