නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනතාවගේ ඉල්ලීමකට නොව ජිනීවා බලපෑමක් .. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනතාවගේ ඉල්ලීමකට නොව ජිනීවා බලපෑමක් ..
Jul 11, 2017

''ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ ඡන්දයෙන් පසුවයි'' - වාසු

සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වුවත් එය කළයුත්තේ ලබන මහ ඡන්දයෙන් පසුව යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.

මේ අවස්‌ථාවේ ජනාධිපති බලය අහෝසි කර ඒ බලය වත්මන් අගමැතිවරයාට ලබාදීමට සූදානම් නොමැති නිසා එය නැති කරනවා නම් කළයුත්තේ ලබන මහ ඡන්දයෙන් පසුව බව ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් අගමැතිවරයා අතට තවත් වැඩි බලයක්‌ ගියහොත් රටට කුමක්‌ සිදුවේදැයි ප්‍රශ්න කළ වාසුදේව නානායක්‌කාර මහතා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව ජනතාවගේ ඉල්ලීමකට නොව ලංකාවේ ස්‌වෛරීභාවය නැති කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසම ඇමරිකාව ගෙනවිත් තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමක්‌ බවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය අහිමි කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවට අනුව නටන මේ ආණ්‌ඩුව එම යෝජනාවේ ප්‍රධාන කොටසක්‌ වන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඒකීය රාජ්‍ය බෙදීමේ කුමන්ත්‍රණයක්‌ බවත් මේ උත්සාහය පරාජය කළයුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.

බොරැල්ල ආචාර්ය ඇන් ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (10 දා) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා මේ බව සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top