ඇමැතීන් 10කගේ කෝටි 1000ක වංචා සොයද්දී : ඇමැතීන් 10කගේ කෝටි 1000ක වංචා සොයද්දී :
Jul 13, 2017

දූෂණ ලේකම් කාර්යාලය වසා දැමු හේතුව මෙන්න ? Featured

දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දමන්නේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට අධික පිරිසකගේ රුපියල් කෝටි දහසක්‌ පමණ වටිනා වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කරමින් සිටින මොහොතකදී බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.

මෝදර ධීවර වරාය මාසික තක්‌සේරු මුදල රුපියල් ලක්‌ෂ දාහතක්‌ව තිබියදී රුපියල් එක්‌ලක්‌ෂ විසිපන්දහසක මාසික කුලියට බ්‍රිතාන්‍ය සමාගමකට අවුරුදු විසිපහක කාලයකට පවරා දීමෙන් රුපියල් කෝටි හතළිස්‌ හතක්‌ රජයට පාඩු කිරීමේ පැමිණිල්ල දූෂණ මර්දන ලේකම් කාර්යාලය හමුවේ පවතින බව කී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ගිං ගඟ, නිල්වලා යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 297 ක්‌ වැය කළද මෙතෙක්‌ එහි එක්‌ පස්‌ පිඩැල්ලක්‌ හෝ නොකැපීම සම්බන්ධව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද විමර්ශනය කෙරෙමින් තිබෙන බව කීවේය.

චෝදනා පිට චෝදනා :

වී අලෙවි මණ්‌ඩලයට රුපියල් කෝටි 400 ක්‌ පමණ පාඩු කරමින් වී තොග අලෙවි කිරීම සම්බන්ධව වර්තමාන විෂය භාර ඇමැතිවරයාට එරෙහි පැමිණිල්ලක්‌ද සුඛෝපභෝගි වාහන 211 ක්‌ අඩුවෙන් තක්‌සේරු කරමින් මුදා හැරීම පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද, දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් විමර්ශනය කරමින් සිටින බව විජිත හේරත් මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක්‌ සඳහා පරිත්‍යාග කළ නිවසක පෞරාණික ගෘහ භාණ්‌ඩ අතුරුදන්වීම පිළිබඳ හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති, එස්‌. බී. දිසානායක මහතාට එරෙහිවද, පාසල්වලට කම්කරු පත්වීම් ලබාදීම පිළිබඳ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට එරෙහිවද, තෙල් සංස්‌ථාවේ මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එරෙහිවද දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් මූලික විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කී විජිත හේරත් මහතා නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා ලෙස මෑතකදී පත්කළ රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව දූෂණ පිළිබඳ චෝදනාද, ලංකා ට්‍රාන්ස්‌ෆෝමස්‌ සමාගමේ රුපියල් කෝටි තුනක්‌ දේශපාලන වැඩකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ පැමිණිල්ලක්‌ද විමර්ශනය කරමින් සිටින බව කීවේය.

ප්‍රයෝජනයක් නැහැ !

rajitha 6'අරමුණු ඉටු නොවුණු නිසා දූෂණ ලේකම් කාර්යාලයට මුදල් වැයකර ඵලක්‌ නෑ''

කෙසේවුවද, ඊයේ (12 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, මහා පරිමාණ දූෂණ වංචා සොයා බැලීමට පිහිටුවූ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවුණු නිසා ඒ සඳහා තවදුරටත් මුදල් වැය කිරීමෙන් පලක්‌ නොවන බවයි.

මේ අනුව මෙම කාර්යාලයේ කාල සීමාව තවදුරටත් දීර්ඝ නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.

මහා පරිමාණ දූෂණ වංචා සෙවීමට මෙම ආයතනය පිහිටු වුවද එමගින් සිදුකළේ සුළු සිද්ධීන් කිහිපයක්‌ බවද මේ සඳහා කරන ලද වියදමට තරම් දෙයක්‌ ඉටු නොවූ බවද ඇමැතිවරයා කීය.

රටේ නීතිය යටතේ පිහිටුවා ඇති අල්ලස්‌ කොමිසම, අපරාධ විමර්ශන ඒකකය, ජනාධිපති කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති විමර්ශන ඒකකය, වංචා විමර්ශන කොට්‌ඨාසය, නාකොටික්‌ ඇතුළු ආයතන 14 ක්‌ ඇති බවද කාට හෝ යම් දූෂණ අක්‍රමිකතා පැමිණිල්ලක්‌ ඇත්නම් ඒ ඕනෑම ආයතනයකට ඉදිරිපත් කළ හැකි බවද සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සබැඳි පුවත් :
කැබිනට් තීරණ : දුෂණ මර්ධන කාර්යාලයට ස්වාභාවික මරණයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top