Jul 13, 2017

'දඹුලු විහාරයට ලෝක උරුමයෙන් ඉවත්විය හැකියි' - අගමැති (ඡායාරූප)

දඹුල්ල විහාරයට ලෝක උරුමයෙන් ඉවත් වීමට වුවමනා නම් අස්ගිරිය මහා නාහිමි සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අදාළ ඇමැතිවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා මේබව සඳහන් කලේ තරුණ භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සමග ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය.

වර්තමාන සමාජ සහ ආගමික ගැටලු පිළිබඳව පැවති මෙම සාකච්ඡාවට චන්දානන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුතුව, වැලිමඩ චන්ද්‍රරතන, වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුන් ඇතුළු තරුණ භික්ෂූන් වහන්සේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා ද සහභාගී වූහ.

දඹුල්ල ලෝක උරුමයේ පැවතිමට නම් සංරක්ෂණය කළ යුතු බවට යුනෙස්කෝව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2017 අවසන් වීමට පෙර යුනෙස්කෝවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී පෙන්වා දුන් අගමැතිවරයා, විහාරය ලෝක උරුමයෙන් ඉවත් වෙනවාද නැතිද යන වග තීරණය කිරීමේ බලයක් රජයට නොමැති බවද කියා සිටියේය.

විහාරස්ථානය ලෝක උරුමයේ තිබෙන තුරු එය ආරක්ෂා කිරිමෙ වගකීමේ රජය සතු බව පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා, දඹුල්ල සංරක්ෂණය ව්‍යාපෘථියෙන් ඉදිරියේදි එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දේශපාලනය කිරිමට උත්සහ නොකරන ලෙසද ඉල්ලා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top