Sathosa

Jul 15, 2017

''දෙසැම්බර් තෙක් කලබල වියයුතු නෑ'' - ඇමති දුමින්ද

පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් වෙනුවට එක් අයකු හෝ කිහිපදෙනකු විසින් ඊට වෙනස් තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලනිප මැති ඇමැතිවරු පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය හා එක්ව සම්මුතිවාදී ආණ්ඩුව සෑදීමට ගත් තීරණය තනි තීරණයක් නොවන බව පැවැසූ අමාත්‍යවරයා එම තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් තීන්දුවක් බවද පෙන්වා දුන්නේය.

සම්මුතිවාදී ආණ්ඩුව සඳහා ඇති කරගත් ගිවිසුම රහස් එකක් නොවන බවද සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම මේ වසරේ දෙසැම්බර් අවසානය තෙක් බලාත්මක බැවින් දැන්ම කලබල විය යුතු නැති බවද ඒ මහතා සඳහන් කළේය.

මහින්දට නාමයෝජනා නොදෙන හේතුව ?

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බවට තමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් ඉදිරිපත් විය නොහැකි නිසා බවත්, කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටින අනෙක් සියලු දෙනාට නාමයෝජනා ලබාදෙන බවත්ය.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද සිල්වා මහතා කර තිබු ප්‍රකාශය ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී විවේචනය කර තිබිණ.

'දුමින්ද පොඩි බබෙක්'

ඉදිරි මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබානොදෙන බවට මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ප්‍රකාශයක්‌ සිදු කිරීම නොකළ යුතුව තිබූ බව ද ඒ මහතා ශ්‍රීලනිප  මුලස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවේදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබානොදෙන බවට දුමින්ද දිසානායක මහතා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩිලාන් පෙරේරා මහතා එසේ සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහතාගේ පියා සමග දේශපාලනයේ නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව දුමින්ද දිසානායක මහතා එවැනි ප්‍රකාශයක්‌ සිදුකළේ තරුණ වයසේ පසුවන ඇමැතිවරයෙක්‌ නිසා විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top