Jul 21, 2017

ක්‍රිකට්‌ අගාධයට තල්ලු වූයේ යහපාලනයෙන් - අර්ජුන Featured

ක්‍රිකට්‌ ක්‍රීඩාවට සූදුකාරයන් ළං කර ගැනීමට යහපාලනය ක්‍රියා කර ඇති බවත්, ක්‍රිකට්‌ ක්‍රීඩාව අගාධයට තල්ලු වූයේ මේ යහපාලනයෙන් බවත් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"මහින්ද රාජපක්‌ෂ මහත්තයගෙ කාලයෙත් දේශපාලනය ක්‍රිකට්‌ ක්‍රීඩාවට තිබුණා. නමුත් මේ තරම් තිබුණෙ නැහැ. මොකද ඒ කාලයේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සූදුකාරයන්ට එන්න දුන්නෙ නැහැ. නමුත් ආණ්‌ඩුවට ක්‍රිකට්‌ හදන්න අවශ්‍යද කියන එක මටත් ප්‍රශ්නයක්‌" ඔහු කියා සිටියේය.

තරග පාවාදීමක්‌ ගැන කිවේ නැහැ :

2011 ලෝක කුසලානයේ තරග පාවාදීමක්‌ සිදු වූ බවට තමා කිසිම විටෙක ප්‍රකාශ නොකරන බවත් එම තරගයේදී සිදුවූ ඇතැම් සිදුවීම් තමාට සැක සහිත බවත් පැවසු රණතුංග මහතා එම ලෝක කුසලානය පිළිබඳව මෙරට 99% ක්‌ම සැක කරන බවද සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් වෙන කෙනෙක්‌ හෝ තමාට ක්‍රිකට්‌ හදන්න ඉල්ලීමක්‌ කළොත් ක්‍රිකට්‌ හැදීමේ වගකීම භාර ගන්නා බවත් ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමේ කාලෝචිත අවස්‌ථාවක්‌ පවතින බවත් ඒ මහතා පැවසිය.

ක්‍රිකට්‌ ආයතනයේ මානව හිමිකම් වාර්තාව එළියට නොදැමීම පිළිබඳව ඔහු කලකිරීමට පත්ව ඇති බව තවදුරටත් සඳහන් කළේය.

ජනපතිට සහ අගමැතිට වාර්තාවක්‌:

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම සහ අත්වෙන්නට යන ඉරණම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක්‌ භාරදීමට ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තීරණය කර තිබේ.

රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ වීමට පෙර රටේ වගකිව යුතු පාර්ශ්ව දැනුවත් කිරීම තමාගේ යුතුකමක්‌ බවත් ඒ වෙනුවෙන් ලි තව එම දෙපළට ඉදිරි සති දෙක ඇතුළත සියලු කරුණු භාර දෙන බවත් රණතුංග මහතා පැවසීය.

"අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මගෙන් ක්‍රිකට්‌ ගැන මේ දක්‌වා මොකක්‌වත් අහල නැහැ. හැබැයි මේ රටේ මිනිස්‌සු බලන් ඉන්නවා මම මොනවද කරන්නෙ කියලා. ඒ නිසා මගේ යුතුකමක්‌ තියෙනවා මේ සම්බන්ධයෙන් රටේ වගකිව යුතු ජනපතිට සහ අගමැතිට දන්වන්න. ඊට පස්‌සෙ මගේ යුතුකම ඉවරයි." යනුවෙන් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

 (මුලාශ්‍රය දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top