Jul 21, 2017

ඇසළ පෙරහැරට සියල්ල සූදානම්

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 24 වන දින ආරම්භ වීමට නියමිතය.

එදින උදෑසන 06.58ට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි කප් සිට විමේ මංගල්‍යයෙන් උත්සව කටයුතු ආරම්භ කෙරේ.

සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර   24 වැනි දා සිට දින 05ක් පවත්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මේ මස 29 වැනි දින කුඹල් පෙරහැර මංගල්‍යය ආරම්භ වන අතර අගෝස්තු මස 02 වැනි දා කුඹල් පෙරහැර අවසන් වීමට නියමිතය.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 03 වැනි දා ආරම්භ වී අගෝස්තු මස 07  වැනි  දිනට යෙදී ඇති පොහොය දිනයේදී අවසන් රන්දෝලි පෙරහැර විථි සංචාරය කෙරේ.

08  වැනි දා දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන බව ද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අදහස් දක්වමින් මාධ්‍යයට පැවසීය.

1706 වන වරට පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා මෙවර අලි ඇතුන් 75 දෙනෙකු පමණ සහභාගී කරවන අතර නර්තන ශිල්පීන් 3000ක් පමණ සහභාගී
වේ.

මේ අතර පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ 04ක පමණ  ජනකායක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන අතර දළදා මාලිගා පරිශ්‍රයට ප්ලාස්ටික් බෝතල් සහ පොලීතීන් රැගෙන යාම තහනම් කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top