Sathosa

"දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා" "දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා"
Jul 27, 2017

"හේමචන්ද්‍රගේ දුවයි පුතයි මම භාරගන්නවා" -යාපනේ විනිසුරු

වෙඩි පහරකට ලක්වී මියගිය තම ආරක්ෂකයා වෙනුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා රැකබලා ගන්නා බව යාපනේ මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් ප්‍රතිඥා දෙයි.

ඔහු මෙම ප්‍රතිඥාව දෙන ලද්දේ වෙඩි පහරින් මියගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර ගේ අවසන් කටයුතු සිදුකෙරෙමින් පැවති අවස්ථාවේදී ය.

"මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නම පුත්තු. අද ඉඳල මම හේමචන්ද්‍ර ගේ දුවයි පුතයි මම රැකබලා ගන්නවා. දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ මරණය දක්වාම මම මේ දරුවන් දෙන්නගේ අධ්‍යාපනය, අනාගතය භාර ගන්නවා." විනිසුරු එම් ඉලන්චෙලියන් පැවසීය

එය තමන්ගේ යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන බව ඔහු ප්‍රකාශ කළේය.

දුවගේ විවාහය:

"මේ දරුවන් දෙන්නා මගේම දරුවන් වගේ මම බලා ගන්නවා. මේ දුවගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි, අනාගතයේ දී විවාහයට පවා අවශ්‍ය මුදල් මම දෙනවා." යනුවෙන් විනිසුරුවරයා තවදුරටත් කියා සිටියේය.

  වසර දාහතක් තමන්ට ආරක්ෂාව සැපයූ පොලිස් සැරයන්වරයා වෙඩි පහරට ලක්ව මියයාම දරාගත නොහැකි වූ මහාධිකරණ විනිසුරුවරයා සැරයන්වරයාගේ බිරිඳට ආචාර කොට හඬා වැළපෙන අනුවේදනීය මොහොත (ජූලි 23) රූපවාහිනී දර්ශනවල සටහන්ව තිබුණි.

යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ තමන් ඉලක්ක කරගෙන බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් අවධාරණය කරන නමුත් එය විනිසුරුවරයා ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් නොවන බව පොලිසිය පවසයි.

බීමතින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පැරණි ආරවුලක් සම්බන්ධයෙන් ‍එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථ නැවතුම්පොළක පිරිසක් සමග ගැටුමක් ආරම්භ කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්, විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.


(බීබීසී සිංහල සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top