Jul 27, 2017

අගමැති ගෙන් වාමාංශිකයන් වෙත ඉල්ලීමක් Featured

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ නොවන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන අන්තවාදී බලවේග මැඩලීම සඳහා ප්‍රමාණවත් පියවර නොගන්නා බවට රජය විවේචනයට ලක්වෙද්දී එම සටන කරන ලෙස රජය වාමාංශිකයන්ගෙන් ඉල්ලා තිබේ.

බලය බෙදා දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවට එකඟවිය හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීමට යන ගමන සමග ඒකරාශි වන්නැයි අගමැතිවරයා ඇරයුම් කළ බව යහපාලන රජය පිහිටුවීමට උරදුන් වාමාංශික නායකයෙක් පවසයි.

විධායක බලය පාර්ලිමේන්තුවට යටත් වන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන අතර එම ගමනේදී ජාතිවාදය කුමන ආකාරයෙන් පැමිණියත් එයට විරුද්ධව සටන් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි බව නව සම සමාජ නායකයා පැවසිය.

අගමැති වරයා නසසප නායකයා ඇතුළු ආණ්ඩුව පිහිටුවීමට දායක වූ පුරවැසි බලවේග වලින් එම ඉල්ලීම සිදු කර ඇත්තේ ඉකුත් සතියේ පැවති විශේෂ හමුවකදීය.

ජාතිවාදී බලවේග තමන්ගේ ආණ්ඩුවේ කැබිනට්ටුවෙන් පැමිණියත් එයට විරුද්ධව සටන් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ 25 අඟහරුවාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතිවාදයට උඩගෙඩි දීම සදහා කුමන ආකාරයෙන් හෝ විවිධ සටන් පැමිණෙන්නේ නම් ඒවා මර්දනය කිරීම සදහා එකතු වන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

හතලිස් වසරක දේශපාලන ගමනක් ඇති අගමැතිවරයාට එම සටන ඉදිරියට ගෙනගොස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයක් රටේ ජනතාව අතරට ගෙන යෑමට හැකිවුවහොත් එය ලෝකය පුරාම විශාල වෙනසක ආරම්භයක් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ අදහසයි.

Rnilbirthday


(radiogagana)




මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top