Jul 28, 2017

FCID මෙතෙක් ආ දුර: මේ කරුණු දැන සිටියාද?

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමින්ය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර තුනකට ආසන්න කාලයක් ගතව ඇති අතර වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ට ද මේ වනවිට එවැනිම වූ චෝදනා එල්ල වෙමින් පවතී.

චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දඬුවම් දිය යුතු බව ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම ආණ්ඩුවට බලයට පත් වීමට සහාය දුන් සිවිල් සංවිධාන ද එවක පැවසූහ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිහිටුවනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හඳුන්වනු ලබන්නේ වත්මන් ආණ්ඩුව "පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ" එක් පියවරක් ලෙසය.
FCID වෙත පැමිණිලි ලැබෙන ආකාරය

  •  පොලිස්පති වෙත ලැබෙන පැමිණිලි ඒවායේ ස්වභාවය අනුව විවිධ කොට්ඨාසවලට හා විවිධ ආයතන වෙත යොමු කරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සහ අල්ලස් කොමිසම එම ආයතනයි.
  • FCID වෙත පැමිණිලි ලැබෙන්නේ එම ආයතන හරහාය.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වාර්තාවලට අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලි පිළිබඳ සාරාංශය

  •  ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව - 335
  • නීතිපති වෙත යොමු කර ඇති පැමිණිලි සංඛ්‍යාව - 89   
  • මහාධිකරණවල නඩු පවරා ඇති සංඛ්‍යාව - 12
  • ගොනු වැසූ සහ වෙනත් ආයතනවලට යොමු කර ඇති සංඛ්‍යාව - 115
  • විමර්ශන යටතේ පවතින පැමිණිලි - 131

ශ්‍රී ලංකා පොලිසිය පවසන පරිදි නඩු පවරා ඇති පැමිණිලි පිළිබඳ කරුණු පහත දැක්වේ.

fcid1

fcid2

FCID3

සිදු කෙරෙන අනෙක් සෑම විමර්ශනයක් පිළිබඳව අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ නිල වාර්තාවලට අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම්වලට අදාළ විස්තර

  •     අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව - 56
  •     අධිකරණයට ඉදිරිපත් වූ සංඛ්‍යාව - 10
  •     (එකතුව 66)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව රාජසන්තක කළ හෝ කිරීමට නියමිත දේපළ

FCID5

මේ අතර දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශව අතරින්ම චෝදනා නැගේ.

කෙසේ නමුත් බ්‍රහස්පතින්දා (ජුලි 27) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණ සඳහා අන්‍යොන්‍ය විදේශ සහාය (Mutual Legal Assistance) ලබා ගැනීමට අවශ්‍ය බවය.

විශුද්ධිකරණයට ලක් කර ඇති ඇතැම් මුදල් හෝ දේපළ විදෙස් රටවල තිබීම හෝ එම ගනුදෙනු විදෙස් රටකදී සිදු කිරීම හේතුවෙන් අදාළ පරීක්ෂණ සඳහා වෙනත් රටවල සහාය ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් රටවල් 25 කින් අන්‍යොන්‍ය විදේශ සහාය ඉල්ලීම් 86 ක් ඉදිරිපත් කර ඇති බවය.

ඒ අතර:

  •     එක්සත් රාජධානිය ඉල්ලීම් 13
  •     සිංගප්පුරුව ඉල්ලීම් 13
  •     ඉන්දියාව ඉල්ලීම් 13
  •     ඇමරිකා එක්සත් ජනපදය ඉල්ලීම් 08 ක ද වේ.

එම ඉල්ලීම් අතරින් 39 ට දැනටමත් සහාය ලැබෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මකකරනු ලබන පරීක්ෂණ සඳහා කල් ගත වන්නේ ඇයි?

ඊට හේතු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ:

  1.     පරීක්ෂණවල ඇති සංකීර්ණභාවය
  2.    විමර්ශන සඳහා වෝහාරික ගණකාධිකාරී දැනුම ලබා ගැනීමට යම් කාලයක් ගතවීම
  3.    විමර්ශන නිලධාරීන් පුහුණු කිරීමට කාලයක් ගතවීම
  4.    විදේශ රටවල සහාය ලබා ගැනීමට සිදුවීම

(බීබීසී සිංහල)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top